Home Science News සීලෑන්ඩියාවේ භූ විද්‍යාත්මක සිතියමක් නිමවෙයි 

සීලෑන්ඩියාවේ භූ විද්‍යාත්මක සිතියමක් නිමවෙයි 

by Sathya

2017 දී නව සීලන්තයට ඔබ්බෙන් ඇති, කලින් හඳුනාගෙන නො තිබූ පෘථිවිය සතු ව පැවැති මහද්වීපයක් සොයා ගැනීම ලොව පුරා ජන මාධ්‍යයන්ගේ සිරස්තල මවන්නට සමත් වුණා. සීලෑන්ඩියා (Zealandia) නම් වූ එය මෞරි භාෂාවෙන් Te Riu-a-Māui ලෙස හැඳින්වෙනවා. ඔස්ට්‍රේලියාව මෙන් තුනෙන් දෙකක විශාලත්වයෙන් යුතු එය පොළොව මත වර්ග කිලෝමීටර මිලියන 5ක වපසරියක් පුරා පැතිර තිබෙනවා. එය එතරම් විශාලත්වයෙන් යුතු වුවත් සොයා ගැනීමට එතරම් කල් ගත ව තිබුණේ එහි සමස්ත වර්ගඵලයෙන් 95%ක් ම නිරිතදිග පැසිෆික් සාගරයේ ගිලී පැවතීම හේතුවෙන්. සීලෑන්ඩියාවෙන් මුහුදු මට්ටමින් ඉහළට එසැවී ඇත්තේ ඉපැරණි සුවිසල් කඳු පන්තියක අවශේෂ කොටස් කිහිපයක් පමණයි. ඒ නව සීලන්තයයි. ඇතැමුන් එය සැඟවී ගිය අත්ලාන්තිස නම් ශිෂ්ටාචාරයක් ගැන කියැවෙන පුරාවෘතයෙහි සඳහන් මහද්වීපය විය හැකි බවට ද මත පළ කළා. නමුත් සීලෑන්ඩියාව මුහුද යට ගිලී ගියේ මිනිසාගේ උදාවටත් බොහෝ යුග ගණනකට පෙරාතුවයි.

භූ විද්‍යාඥ කණ්ඩායමක්, ඉන් ලබාගත් පාෂාණ සාම්පලවල සංයුතිය පදනම් කරගනිමින් සහ භූ භෞතික අනුරූපණයන් උපයෝගී කරගනිමින් නවතම භූ විද්‍යාත්මක සිතියමක් පිළියෙළ කරන්නට සමත් වී සිටිනවා.නව සීලන්තය, නව කැල්ඩෝනියාව, ඔස්ට්‍රියාව, එක්සත් ජනපදය, ඩෙන්මාකය සහ තස්මේනියාව ආදී රටවල් රැසක භූ විද්‍යාඥයන් මේ සඳහා ඒක් වී තිබුණා.

ඔවුන් නව සීලන්තයට උතුරු මුහුදු කලාපවලින් ලබා ගත් පාෂාණ සාම්පල යොදා ගනිමින් විවිධ භූ විද්‍යාත්මක සැකසුම් සිතියම්කරණයට ලක් කළා. සීලෑන්ඩියාවේ පිටත සීමවලට පසු ව පිහිටා ඇති වැලිගල් තට්ටු ද එහි දී ඔවුන්ගේ නිරීක්ෂණයට නතු වුණා. මේ පර්යේෂණාවලියේ ම කොටසක් ලෙසින් ආවේක්ෂණ නැව් යොදාගෙන ඔස්ට්‍රේලියාව සහ ඇන්ටාක්ටිකාව අතර සිදු කළ චුම්භක ක්ෂේත්‍රය සිතියම් ගත කිරීම්වලින් ද චුම්භකිත අසාමාන්‍යතා කිහිපයක් නිරීක්ෂණය වී තිබුණා. එවැනි එක් අසාමාන්‍යතාවක් මඟින් සීලෑන්ඩියාවේ දක්ෂිණ මායිමට වන්නට පිහිටියේ යැයි අනුමාන කළ හැකි විභේදන කලාපයක් පෙන්නුම් කරනවා. එය අදින් වසර මිලියන 150කට පෙර ඇන්ටාක්ටිකාවෙන් සහ ඔස්ට්‍රේලියාවෙන් වෙන් වී ස්වකීව භූමි ස්කන්ධයක් ලෙස නැඟී සිටි සීලෑන්ඩියාව විසින් පෘථිවි කබො‌ල මත ඇති කළ කැලැලක් ලෙස දැක්විය හැකියි. සීලැන්ඩියාවේ කබොල ඝනකම තිලෝමීටර 10ත් 30ත් අතර වනවා. එය අනෙක් මහද්වීපවල කිලෝමීටර 30ත් 45ත් අතර අගයක් ගන්නා කබොලේ ඝනකමට සාපේක්ෂ ව සිහින් බව පෙනෙන්නට ති‌බෙනවා.

මේ නවතම අධ්‍යයනය “Reconnaissance basement geology and tectonics of North Zealandia යන හිසින් යුතු ව Tectonics ජර්නලයේ පළ කොට තිබෙනවා.

Forbes ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications