දඩයක්කරුගේ වම් උරහිස මුවා කරමින් අද  රාත්‍රියේ ග්‍රහකයක් ඇදී යයි

Orion constellation illustration. Scheme of constellation stars with its name.

අද , 2023 වසරේ දෙසැම්බර් මස 11 වෙනි දින රාත්‍රියේ ඉතා විරල අභ්‍යවකාශ සංසිද්ධියක් සිදු වීමට නියමිත ව තිබෙනවා.

එය නම් දඩයක්කාරයා නමින් හඳුන්වන ඔරායන් තාරකා මණ්ඩලයට අයත් වම් උරහිස නිරූපණය කරන රතු යෝධ තරුව වන බීටල්ජූස් තාරකාව මුවා කරමින් එය ඉදිරියෙන් තත්පර කීපයකට ග්‍රහකයක් ගමන් කිරීමයි.

මේ මුවා කිරීම (Occultation) සිදු කරමින් බීටල්ජූස් තරුව සඟවා ලමින් ඇදී යන්නේ අඟහරු සහ බ්‍රහස්පති ග්‍රහලෝක දෙකට අතර පිහිටන ප්‍රධාන ග්‍රහක පටියට අයත් 319 ලියෝනා නම් ග්‍රහකයයි.

කිලෝමීටර් 80 ක් දිගැති , කිලෝමීටර් 55ක් පළලැති මෙම ග්‍රහකය එසේ බීටල්ජූස් තරුව ඉදිරියෙන් ඇදී යන පථය වැටී ඇත්තේ අවාසනාවකට මෙන් අපේ ශ්‍රී ලංකාවට ඉහළින් නම් නො වෙයි.

319 ලියෝනා ග්‍රහකයේ එම ගමන් මඟ මධ්‍යම මෙක්සිකෝව සහ එක්සත් ජනපදයේ දකුණු ෆ්ලොරිඩාව පසු කර අත්ලන්තික් සාගරයට ඉහළින් දකුණු ස්පාඤ්ඤය, පෘතුගාලය, දකුණු ඉතාලිය, ග්‍රීසිය හා තූර්කිය යන රටවලට ඉහළින් වැටී තිබෙන නිසා ඒ ප්‍රදේශවල අයට පමණක් දිස් වන සංසිද්ධියක් බව සඳහන් කිරීම වැදගත්.

319 ලියෝනා ග්‍රහකය මඟින් මුවා කිරීම සිදු වන බීටල්ජූස් තාරකාව ආලෝක වර්ෂ 650 ක් දුරින් පිහිටන අතර එය ඔරායන් තාරකා මණ්ඩලයට අයත් දීප්තිමත් ම තරුව මෙන් ම රාත්‍රි අහසේ සියලු තාරකාවලින් දීප්තියෙන් දසවැනි තැන ගන්නා තරුව ද වෙනවා.

බීටල්ජූස් තරුවේ මුවා වීම අද රාත්‍රියේ 8 p.m. EDT වේලාවේ ඇරඹෙන අතර එය තත්පර 15 ක පමණ කාලයක් පුරා සිදු වීමට නියමිත ව තිබෙනවා.

තාරකා විද්‍යාඥයින් විසින් මේ විරල සිදු වීම බීටැල්ජූස් තරුවේ ශක්තියෙන් විශාල ප්‍රමාණයක් මෝචනය කරනු ලබන එහි දෘශ්‍ය ස්ථරය වන ප්‍රකාශ ගෝලය (Photosphere) පිළිබඳ ව අධ්‍යයනය කළ හැකි මහඟු අවස්ථාවක් ලෙස සලකනු ලබනවා.

ප්‍රේමශාන්ත කුමාරසිරි

Related posts

ප්ලූටෝ නැවතත් ග්‍රහලෝකයක් ලෙස නම් කිරීමේ උත්සාහයක්

3I/ ATLAS සම්භවය සිදු වූ ඉසව්ව ගැන අලුත් අධ්‍යයනයක්

සාගරය හරහා ඉදිකෙරෙන යෝජිත දැවැන්ත වේල්ලෙන් AMOC බේරාගත හැකි ද?