Home Science News ආක්ටික් ග්ලැසියර අයිස් ඩුබායි වෙත අපනයනය කෙරේ

ආක්ටික් ග්ලැසියර අයිස් ඩුබායි වෙත අපනයනය කෙරේ

by Sathya

ග්‍රීන්ලන්ත සමාගමක් විසින් ආක්ටික් ග්ලැසියරවලින් ලබාගන්නා අයිස් අරාබි එමීර් රාජ්‍යය වෙත අපනයනය කරන ව්‍යාපාරයක් අරඹා තිබෙනවා. ග්‍රීන්ලන්තයේ නූක් අගනුවර පාදක කරගනිමින් පිහිටුවාගෙන ඇති Arctic Ice නම් මෙම සමාගම ඩුබායි වෙත අළෙවිකරන ග්ලැසියර අයිස් වසර ලක්ෂයක් පමණ පැරැණියි.

සමාගම සඳහන් කරන පරිදි මේ අයිස් තැනී ඇත්තේ වසර දහස් ගණනක් තිස්සේ සංකෝචනය වීමෙන් බැවින් ඒ තුළ වායු බුබුළු නැති තරම්. එනිසා ම ඒවා දිය වීමට සාමාන්‍ය අයිස් කැටයකට වඩ‌ා කාලය ගත වනවා. ලොව සුපිරි ධනවතුන් ගැවසෙන, නො නිදන නගරයක් වන ඩුබායිහි සුරාසැල්වල මේ අයිස් රසවිඳිය හැකි බව ඔවුන් සඳහන් කරනවා.

Arctic Ice සිය වෙබ් අඩවියේ සඳහන් කර ඇත්තේ ‘ඒවා ලොව ඇති සුපිරිසිදු ම අයිස් කැට’ බවයි. ‘Arctic Ice ඵලදාව නෙළා ගන්නේ වසර ලක්ෂයකට වැඩි කලක් තිස්සේ මිදී පවතින ආක්ටික්හි ස්වභාවික ග්ලැසියරවලින්.’ සමාගම පවසනවා. ඔවුන් පවසන පරිදි එම අයිස් තට්ටු පසට හෝ මිනිසා විසින් එක් කරන ලද දූෂණකාරක සමග මුහු වී නැහැ. ‘මේ නිසා පෘථිවියේ ඇති පිරිසිදු ම H2O තනන්නේ Arctic Ice.’ සමාගම වැඩිදුරටත් ප්‍රචාරය කරනවා.

Arctic Ice සමාගමේ සම නිර්මාතෘ Malik V Rasmussen පවසන්නේ ඔහු‌ට ඩෙන්මාක් රාජධානියේ ම කොටසක් ව පවතින ග්‍රීන්ලන්තයට ආදායමක් ලැබිය හැකි නව මාර්ගයක් සොයා ගැනීමේ වුවමනාවක් පැවැති බවයි. ‘ග්‍රීන්ලන්තයේ අපි මුදල් උපයන්නේ ධීවර කර්මාන්තයෙන් සහ විදෙස් සංචාරකයන්ගෙන් පමණයි. දිගු කලක් තිස්සේ ආදායමක් ඉපයිය හැකි වෙනත් ක්‍රමයක් සෙවීමට මට වුවමනා කළා.’ Rasmussen, The Guardian වෙත සඳහන් කර තිබුණා.

දොඹකරයක් සවි කළ බෝට්ටුවක් මඟින් Nuup Kangerlua සිට ග්‍රීන්ලන්ත අගනුවර වන නූක් වෙත මෙම සුඛෝපභෝගී අයිස් රැගෙන එන ඔවුන් ඒවා නැව් නංවා එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත එවනවා. මේ වන විට සමාගම මෙට්‍රික් ටොන් 20ක් වූ සිය පළමු අයිස් තොගය අපනයනය කර තිබෙනවා.

කෙසේ නමුත් සමාජමාධ්‍ය හරහා ඔවුන් විවේචනයට ද බඳුන් වී තිබෙනවා. ගෝලීය උණුසුමේ ඉහළ යාමෙන් පමණක් ග්ලැසියර දිය වී යාම වේගවත් වී ඇති යුගයක ආර්ථික ප්‍රතිලාභ තකා වාණිජ්‍යමය වශයෙන් ද ග්ලැසියර කොටස් කිරීම පිළිබඳ ඇති සදාචාරාත්මක මතභේදය එයට හේතුවයි. මේ නිසා සමාගමේ නිර්මාතෘ දෙපළට මරණ තර්ජන පවා එල්ල වෙමින් තිබෙන බවයි වාර්තා වන්නේ.

Daily Mail සහ The Guardian ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications