පසුගිය ජනවාරි 14 වැනි දා අයිස්ලන්තයේ අගනුවර වන Reykjavik නගරයට නිරිත දෙසින් පිහිටා ඇති Grindavik නගර ඉමේ ඇති යමහලක් විදාරණය වී ලාවා ගලා යාමට පටන්ගත් බැවින් ඒ ආශ්‍රිත පදිංචිකරුවන් ඉවත් කිරීමට පියවර ගැනුණා. භූ විශේෂඥයන් සඳහන් කරන්නේ එය අයිස්ලන්ත භූමියට යටින් බොහෝ කාලයක් නිද්‍රාශීලී ව තිබූ විභේද රේඛාවේ අවදි වී ඇති බව ස්ථිර කරන සිදු වීමක් බවයි.
යමහලෙන් ගලා ගිය උණු රත් පැහැ ගත් ලාවා ඉකුත් ඉරිදා අසබඩ නිවෙස් කිහිපයක් ම ගිලගෙන තිබුණා. මුහුද අසබඩ ධීවර ගම්මානයක් වන Grindavikහි ඇති එය විදාරණය වන බව පෙර සිට ම හඳුනාගෙන නගරය හිස් කිරීම කල් තියා ම අරඹා තිබූ බැවින් තත්ත්වය පාලනය කර ගැනීම පහසු වී ඇති බව එරට බලධාරීන් සඳහන් කර තිබුණා.
අයිස්ලන්තය පිහිටා ඇත්තේ යුරේසියානු භූ තැටියත්, උතුරු ඇමරිකානු භූ තැටියත් එකිනෙක සම්මුඛ වන පිහිටීමකට ඉහළින්. සාගර පත්ලේ ඇති පැල්මක් ලෙස හැඳින්විය හැකි එය Mid-Atlantic Ridge හෙවත් මධ්‍ය-අත්ලාන්තික වැටිය ලෙස හැඳින්වෙනවා.
පසුගිය සියවස් අටක කාලයක් පුරා Reykjanes අර්ධද්වීපය තුළ එකදු යමහල් විදාරණයක් වත් වාර්තා වී නැති නමුත් පසු ගිය දා සිදු වූයේ වසර තුනකටත් අඩු කාලයක් තුළ වාර්තා වූ පස් වැනි යමහල් විදාරණයයි. විශේෂඥයන් සඳහන් කරන්නේ ඉදිරි වසරවල දී ද අයිස්ලන්තයේ යමහල් විදාරණ සහ ලාවා ගලා යාම් බහුල විය හැකි බවයි.
Science Alert ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්