ජපානය, සඳ මතට සුමට ගොඩබැස්මක් සිදු කළ පස් වැනි රාජ්‍යය බවට පත් කරමින් ඉකුත් 19 වැනි දා සඳ මතට ගොඩබට SLIM චන්ද්‍ර ලෑන්ඩරය ක්‍රියාත්මක ව පැවතුණේ ඉන් පැය කිහිපයක් පමණයි. යානය සාර්ථක ලෙස සඳ ස්පර්ශ කර ඇති බව පෙනී ගියත් ගොඩබැසීමෙන් පසු එය සතු සූර්ය කෝෂ නිසි පරිදි විදුලිය ජනනය නො කරන බව පෙනී ගොස් තිබුණා. SLIM සතු සෙසු උපාංග යථා පරිදි ක්‍රියා කරන බව පෙනී ගියෙන් ගොඩබැසීමේ දී එහි වූ දෘඩාංගවලට හානි සිදු වී ඇතැ යි යන සැකය ද සාධාරණ බව පෙනී ගියේ නැහැ.
මෙයට පිළිතුරු සපයමින් SLIM සිය ගොඩබැසීම සිදු කිරීමට මොහොතකට පෙර ඉන් චන්ද්‍ර පෘශ්ඨයට මුදා හැරුණු අවශේෂ යානා ද්විත්වයෙන් එකක් වන Sora-Q විසින් ලබාගැනුණු මුල් ම ඡායාරූපයක දැක්වෙන්නේ යානය ගොඩබැස තිබෙන්නේ නියමිත අක්ෂයට වඩා අංශක 90ක් ආනත ව බවයි. ජපාන අභ්‍යවකාශ ඒජන්සිය වන JAXA ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ යානය සතු ප්‍රධාන එන්ජිමේ සිදු වූ අසාමාන්‍ය තත්ත්වයක් මෙම තත්ත්වයට හේතු වන්නට ඇති බවයි. පෙනෙන්නට ඇති පරිදි චන්ද්‍ර කක්ෂයේ සිට මතුපිට දක්වා පහත් වන ගමනේ දී එහි වූ ප්‍රධාන ත්වරකයන් දෙකෙන් එකක් ක්‍රියා විරහිත වී තිබෙනවා. යානය ගොඩබැසීම සිදු කළේ චන්ද්‍රයාගේ සමකය ආසන්නයේ ඇති Shioli නම් ආවාටයේ ඉවුරක් අසබඩ ඇති ප්‍රදේශයක් වෙතටයි.
Sora-Q මෙම ඡායාරූපය පෘථිවියට එවා තිබෙන්නේ එයත් සමගින් සඳ මතට ආ Lev-1 නම් අනෙක් චන්ද්‍ර රොබෝවා වෙත සම්ප්‍රේෂණය කිරීම හරහායි. ඒ SLIM ලෑන්ඩරය හැරුණු විට පෘථිවිය සමග සන්නිවේදනය පවත්වාගත හැකි ස්වාධීන රේඩියෝ උපාංගයක් තිබෙන්නේ එම රොබෝවා සතු ව වීම නිසයි.
BBC ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්