ජපානයේ ප්‍රථම සාර්ථක සඳගමන සනිටුහන් කළ JAXAහි SLIM චන්ද්‍ර ලෑන්ඩරය දෙවැනි වතාවටත් චන්ද්‍ර රාත්‍රියට සාර්ථක ලෙස මුහුණ දී තිබෙනවා. පසුගිය දා මෙහෙයුම් කණ්ඩායම X (පෙර twitter) සටහනක් තබමින් මේ බව නිවේදනය කර සිටියේ රාත්‍රියෙන් පසු SLIMගේ යාත්‍රණ කැමරාවෙන් ලබාගත් චන්ද්‍ර භූමිය දැක්වෙන ඡායාරූපයක් ද සමඟයි.
Smart Lander for Investigating Moon හෙවත් SLIM ගුවනට නැඟුණේ පසුගිය වසරේ සැප්තැම්බරයේයි. ජපානය චන්ද්‍රයා මතට සුමට ගොඩබැස්මක් සිදු කළ පස් වැනි රාජ්‍යය බවට පත් කරමින් එහි ගොඩබැසීම සිදු වූයේ ඉකුත් ජනවාරි 19 වැනි දායි. ඒ පිළිවෙළින් සෝවියට් සමූහාණ්ඩුව, ඇමරිකා එක්සත් ජනපදය චීනය සහ ඉන්දියාවට පසු වයි.
කෙසේ නමුත් ගොඩ බැසීමේ දී සිදු වූ දෝශයක් හේතුවෙන් එය සඳ මතට පහත් වූයේ සිරස් අතට නො ව සැලකිය යුතු අංශක ගණනකින් ආනත වයි. මෙනිසා ලෑන්ඩරය ප්‍රකෘතිමත් තත්ත්වයේ තබා ගැනීමට අවශ්‍ය වූ සූර්ය තාපය උකහා ගැනීමට අවශ්‍ය අංශක ගණන එහි වූ සූර්ය කෝෂවලට අහිමි වී ගියා. කිලෝග්‍රෑම් 200ක බරින් යුතු වූ ලෑන්ඩරය අනතුරු ව අක්‍රීය තත්ත්වයට පත් වූ අතර යළි අවදි වී සන්නිවේදනය ගොඩනඟා ගත්තේ ජනවාරි 28 වැනි දිනයි.
අනතුරු ව මෙහෙයුම් කණ්ඩායම සිය ලෑන්ඩරය යළි නින්දක සතපවාලීමට කටයුතු කළේ උදාවෙමින් පැවැති අවට උෂ්ණත්වය සෙල්සියස් අංශක -130 දක්වා පහත වැටෙන, පෘථිවි දින 14ක් දිගු චන්ද්‍ර රාත්‍රියට මුහුණ දීම උදෙසායි.
කෙසේ නමුත් ඒ වන විටත් SLIM ඉන් බලාපොරොත්තු වූ සියලු මූලික අරමුණු ජයගෙන සිටියා. ඒ අතර තෝරාගත් කලාපයට සුමට ගොඩ බැස්මක් සිදු කිරීම, රැගෙන ගිය කුඩා ප්‍රමාණයේ රෝවර යානා දෙක මුදා හැරීම සහ දත්ත රැස්කිරීම් ඒ අතර වුණා. චන්ද්‍ර රාත්‍රියට මත්තෙන් අක්‍රීය තත්ත්වයට පත් කරන විට යළි එය අවදි වනු ඇතැයි මෙහෙයුම් කණ්ඩායම බලාපොරොත්තුවෙන් සිටියේ නැහැ. නමුත් සියල්ලන් සතුටට පත් කරමින් එය පසුගිය මාසයේ අවදි වුණා.
පුදුමයට සහ සතුටට කරුණ නම් SLIM දෙවැනි වරටත් මේ වික්‍රමයට සාර්ථක ලෙස මුහුණ දී ඇති බව පෙනෙන්නට තිබීමයි. “ලබාගත් දත්තවලට අනුව, ඇතැම් උෂ්ණත්ව සංවේදක හා ප්‍රෙයා්ජනයට නො ගත් විද්‍යුත් කෝෂවල දෝෂ හටගෙන ඇති බව පෙනෙන්නට තිබුණත් පළමු චන්ද්‍ර රාත්‍රියට සාර්ථක ව මුහුණ දුන් කෘතයයන් බහුතරය දෙවැනි චන්ද්‍ර රාත්‍රියෙන් පසු ද ක්‍රියාත්මක වෙමින් පවතිනවා!” පසුගිය දා SLIM මෙහෙයුම් කණ්ඩායම සිය නිල X පිටුවේ සටහනක් තබමින් සඳහන් කර තිබුණා.
SLIMගේ ගොඩබැසීමෙන් මාසයකට පසු ගොඩබට ඇමරිකාවේ Intuitive Machines සමාගමේ Odysseus ලෑන්ඩරය සතියකට පසු සිය ප්‍රථම චන්ද්‍ර රාත්‍රියට මුහුණ දීම සඳහා නිහඬ වූ අතර උදෑසන පහන් වුව ද යළි අවදි වූයේ නැහැ. ඉකුත් සතියේ Intuitive Machines සමාගම නිවේදනය කළේ Odysseusගේ මෙහෙයුම නිමාවට පත් වී ඇති බවයි.
Live Science ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්