Home Science News මීළඟ ගෝලීය වසංගතය ඉන්ෆ්ලුවෙන්සා විය හැකි බව සමීක්ෂණයකින් හෙළි වෙයි

මීළඟ ගෝලීය වසංගතය ඉන්ෆ්ලුවෙන්සා විය හැකි බව සමීක්ෂණයකින් හෙළි වෙයි

by Sathya

මීළඟට හිස ඔසවන වසංගත තත්ත්වය ඉන්ෆ්ලුවෙන්සා විය හැකි බව වයිරස විද්‍යාඥයන් අනතුරු අඟවනවා. The Guardian වාර්තා කරන පරිදි ලබන සතියේ පළ වීමට නියමිත අධ්‍යයන වාර්තාවකට අනුව රෝග විශේෂඥයන් අතුරින් 57%ක් ම විශ්වාස කරන්නේ මීළඟට ඇති වන්නට නියමිත ගෝලීය වසංගතයට හේතු කාරක වනු ඇත්තේ ඉන්ෆ්ලුවෙන්සා වයිරස බවයි.

මේ සමීක්ෂණය සිදු කළ ජර්මනියේ Cologne විශ්වවිද්‍යාලයේ Jon Salmanton-García සඳහන් කරන පරිදි දීර්ඝ කාලීන ව සිදු කරන ලද පර්යේෂණ මඟින් අනාවරණ කර ඇති, නිරන්තරයෙන් පරිණාමය වෙමින් නව විකෘතීන් ඇති කරන ලොව ඇති විනාශකාරී ම වසංගත තත්ත්වය වනු ඇත්තේ ඉන්ෆ්ලුවෙන්සාවයි.

“සෑම සීත ඍතුවක ම ඉන්ෆ්ලුවෙන්සා හිස ඔසවනවා. එවැනි පැතිරීම් ඔබට අවශ්‍ය නම් කුඩා වසංගත තත්ත්වයන් ලෙස වුව ද හැඳින්විය හැකියි. ඒවා අඩු වැඩි වශයෙන් පාලනය වී තිබෙන්නේ ඒවායේ වයිරස මාදිලි ඇති තරමින් ප්‍රබල නො වීම මතයි. නමුත් එය සදාකාලික ව ම එසේ තිබෙනු ඇත්තේ නැහැ.” Salmanton-García සඳහන් කරනවා.

සමීක්ෂණය සඳහා සහභාගී වූ විශේෂඥයන් අතුරින් දෙ වැනියට වැඩි ම පිරිසක් සඳහන් කර ඇත්තේ මෙතෙක් හඳුනා නො ගත් රෝගයක් සඳහා භාවිත වන X රෝගය නමැති වසංගත තත්ත්වය මීළඟ වසංගතය විය හැකි බවයි. ප්‍රතිශතාත්මක ව එම මතය දැරූ විශේෂඥයන් ගණන 21%ක්.

15%ක් විශ්වාස කරන්නේ මීළඟ ගෝලීය වසංගත තත්ත්වය Sars-CoV-2 හේතුවෙන් ඇති වනු ඇති බවයි. ලැසා, නිපා, ඉබෝලා සහ සිකා වයිරස මඟින් එය උද්ගත වනු ඇති බවට 1% සිට 2% දක්වා පිරිසක් විශ්වාස කරනවා. “මේ සියල්ල අතරින් ඉන්ෆ්ලුවෙන්සා ඉදිරියෙන් සිටින්නේ ලොව පුරා සිටින විද්‍යාඥයන් අතරින් සාතිශය බහුතරය මීළඟට ගෝලීය වසංගතයක් දක්වා උඩු දිවිය හැක්කේ එය බව පිළිගන්නා බැවින්.” Salmanton-García සඳහන් කරනවා.
.
පසුගිය සතියේ ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබු‍ණේ කුරුලු උණ ව්‍යාප්ත කරමින් වේගයෙන් පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා H5N1 ප්‍රභේදය පිළිබඳ වයි. 2020 වසරේ ඇරඹුණු H5N1 කුරුලු උණ වසංගත තත්ත්වය මේ වන විට ලෝක කුරුලු ගහනයෙන් මිලියන ගණනක් අතුගා දමා තිබෙනවා.

The Guardian ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications