Home Science News පිටසක්වළ ශිෂ්ටාචාර සෙවීමේ පෙරළියක් අත ළඟ බව පර්යේෂකයෝ කියති

පිටසක්වළ ශිෂ්ටාචාර සෙවීමේ පෙරළියක් අත ළඟ බව පර්යේෂකයෝ කියති

by Sathya

වසර 60කට වැඩි කාලයක් තිස්සේ පර්යේෂකයන් විශ්වයේ වෙසෙන බුද්ධිමත් ජීවීන් අප පමණක් නො වන බව තහවුරු කළ හැකි සාධක සොයමින් වෙහෙසෙමින් සිටියත්, මේ වන තෙක් එවැන්නක් සොයාගන්නට සමත් වී නැහැ. නමුත් පිටසක්වළ ශිෂ්ටාචාර සෙවීමේ දඩයම නව යුගයක් කරා පැමිණ ඇති බව පර්යේෂකයන් විශ්වාස කරනවා.

පිටසක්වළ ශිෂ්ටාචාර සෙවීම වෙනුවෙන් කැප වී සිටින ලොව විශාලතම පර්යේෂණ වැඩසටහන වන Breakthrough Listen සමඟ අත්වැල් බැඳගෙන සිටින විද්‍යාඥයන් පවසන්නේ ක්ෂේත්‍රය තුළ බිහිවෙමින් පවතින නව තාක්ෂණික සංවර්ධනයන් පිටසක්වළ ජීවය සොයා විශ්වය පීරීම විප්ලවීය වෙනසකට බඳුන් කරනු ඇති බවයි.

මේ සතියේ දී එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ්හි පැවැත්වීමට නියමිත Breakthrough Listen ව්‍යාපෘතියේ වාර්ෂික සම්මන්ත්‍රණ සැසියේ දී මේ නවෝත්පාදන සියල්ල සවිස්තරාත්මක ව ලොවට හෙළි වීමට නියමිතයි. ඒ සඳහා ලොව නන් දෙසින් තාරකා විද්‍යාඥයන්ගේ සිට සත්ත්ව විද්‍යාඥයන් දක්වා පුළුල් පරාසයක කටයුතු කරන විද්වතුන් සහභාගී වීමට නියමිත ව තිබෙනවා.

“සංවර්ධන මට්ටමේ පවතින විස්මයජනක නව තාක්ෂණයන් තිබෙනවා. චීලීවල, අප්‍රිකාවේ සහ ඔ්ස්ට්‍රේලියාවේ අලුත් යෝධ දුරේක්ෂ ඉදිකිරීම වගේ ම කෘත්‍රිම බුද්ධියේ හැකියාවන් භාවිතයට ගැනීම ද ඒ අතර වනවා. පිටසක්වළ ශිෂ්ටාචාර සෙවීමේ පෙරළියක් මෙයින් ඇති වේ වි.” Breakthrough Listenහි ව්‍යාපෘති විද්‍යාඥයෙකු මෙන් ම තාරකා විද්‍යාඥයෙකු ද වන Steve Croft සඳහන් කරනවා.

මේ අතරින් ඇතැම් නව ව්‍යාපෘති දැනටමත් ඉදිවෙමින් පවතිනවා. දකුණු අප්‍රිකාවේ ඉදිවෙමින් පවතින සිය ගණනක් රේඩියෝ දුරේක්ෂ කැටි කළ Square Kilometre Array එයට උදාහරණයක්. නිම වූ පසු ලොව ඇති බල සම්පන්න ම රේඩියෝ තාරකා විද්‍යා පර්යේෂණාගාරය වනු ඇත්තේ එයයි. එසේ ම චිලීහි ඉදි‌ කෙරෙමින් පවතින Vera Rubin Observatory නිරීක්ෂණාගාරය භාවිතයට එක් වූ පසු පො‌ළොවේ ස්ථාපිත බල සම්පන්න ම කැමරාව එය වනු ඇති බව සඳහන්. සෑම රාත්‍රීන් තුනකට හෝ හතරකට වරක් දෘෂ්‍ය අහස ඡායාරූපගත කරමින් අලුත් චක්‍රාවාට සහ තාරකා පද්ධති මිලියන ගණනින් සොයා ගැනීමට දායක වනු ඇතැ යි අපේක්ෂා කෙරනවා.

මේ නිරීක්ෂණ මධ්‍යස්ථාන ද්විත්වය ම නුදුරු වසර කිහිපය තුළ සේවයට එක් කෙරෙනු ඇති අතර ඉන් ලබා ගැනෙන දත්තවල පැන නඟින රටාවන් කෘත්‍රිම බුද්ධි ක්‍රමලේඛන ඔස්සේ වඩාත් සංකීර්ණ ලෙස විශ්ලේෂණය කෙරෙනු ඇති බව Croft සඳහන් කරනවා.

“මෙතෙක් කල් අපි බලාපොරොත්තුවෙන් හිටියේ පිටසක්වළ ජීවීන් සිය පැවැත්ම දන්වමින් හිතාමතා එවන සංඥා ග්‍රහණය කරගැනීමටයි. අලුත් තාත්ෂණික ශික්ෂණයන් කොතෙක් සංවේදී දැ යි කිවහොත් පළමු වතාවට වුවමනාවෙන් නො එවන විකාශනයන් පවා සෙවීමේ හැකියාව ලබා දේ වි. හරියට පිටසක්වළ ගුවන් තොටුපොළක රේඩාර් සංඥා, බලැති රූපවාහිනී විකාශන වගේ දේවල් පවා.” Croft පෙන්වා දෙනවා.

The Guardian ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications