Home Science News මෘදු පටකවලින් සමන්විත වූලි රයිනෝ සිරුරක් සයිබීරියාවෙන් සොයාගැනේ

මෘදු පටකවලින් සමන්විත වූලි රයිනෝ සිරුරක් සයිබීරියාවෙන් සොයාගැනේ

by Sathya

සයිබීරියොවේ රත්‍රන් සඳහා කැනීම් කරන්නන් පිරිසක් පසුගිය දා අඟ මෙන් ම මෘදු පටක පවා මනා ලෙස සංරක්ෂණය වී පැවති මමීකෘත වූලි රයිනෝවකුගේ සිරුරක් සොයාගන්නට සමත් ව තිබෙනවා. සාඛා ජනරයේ අරඹන ලද නව ආකරයක කැණීම් සිදු කරමින් සිටිය දීයි ඔවුන් මේ දුලබ අත්දැකීමට මුහුණ දී තිබුණේ.

එරට Oymyakon දිස්ත්‍රික්කයේ පිහිටි මේ ආකරයෙන් සොයාගත් වූලි රයිනෝවාගේ මෘත ශරීරයේ ඡායාරූප පසුගිය දා රුසියානු සමාජ මාධ්‍යවල පළ වී තිබෙනු දක්නට ලැබුණා.

මේ සොයාගැනීමෙන් අනතුරු ව එම ස්ථානයට ළඟා වූ එරට පිහි‌ටි North-Eastern Federal University (NEFU) විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් රයිනෝවාගේ අඟ ආරක්ෂිත ලෙස සිරුරෙන් වෙන් කරගත් අතර, ඉදිරි දිනවල දී උගේ සිරුරේ ඉතිරි කොටස් ද සුපරික්ෂාකාරී ලෙස කැණ ඉස්මතු කරගැනීමට නියමිතයි.

“මෙය සැබවින්ම අද්විතීය සොයාගැනීමක් වනවා. එමඟින් කලාපයේ ඉතිහාසය, එහි පැරැණි සත්ත්ව විශේෂ, දේශගුණය සහ භූ විද්‍යාත්මක තත්ත්වයන් වඩාත් ගැඹුරින් අධ්‍යයනය කිරීමට අපට ඉඩ සලසනවා.” NEFU විශ්වවිද්‍යාලයේ පර්යේෂක Anatoly Nikolaev සඳහන් කරනවා.

සයිබීරියාවේ නිත්‍ය තුහින භූමි පුරාතන සතුන්ගේ මළ සිරුරු ස්වභාවික ලෙස ම සංරක්ෂණය කිරීමේ ප්‍රශස්ත පාරිසරික තත්ත්වයන්ගෙන් යුතු වනවා. එහි ඇති අධික සීතල මළකුණු දිරාපත් ව යාම වළකා, මමීකෘත වීමට ඉඩ සලස්වනවා.

අදින් වසර මිලියන 2.6 ක සිට වසර 11,700කට පෙර පැවති ප්ලෙයිස්ටෝසීන යුගයේ වූලි රයිනෝවන් වාසය කළේ යැ යි විශ්වාස කෙරෙනවා. හිම යුගය අවසානයට ළඟා වීමත් සමඟ ඔවුන්ගේ ව්‍යාප්තිය සීමා සහිත වූ අතර, සයිබීරියාව පමණක් පදනම් කරගෙන ජීවත් වූ බවට සාධක තිබෙනවා. දේශගුණයේ විපර්යාසය සහ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් ඔවුන් නෂ්ට ව ගොස් ඇත්තේ අදින වසර 10,000කට පමණ ඉහත දී යි.

Live Science ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications