පාරභෞමික ජීවයක් සමඟ සබඳතාවක් ගොඩනඟාගැනීමේ අරමුණෙන් යුතු ව මිනිසා විසින් යවන ලද මුල් ම රේඩියෝ පණිවුඩයට ඉකුත් නොවැම්බර් 16 දා වසර පනහක් සපිරුණා. පුවටෝ රිකෝහි පිහිටි ඇරසිබෝ රේඩියෝ නිරීක්ෂණාගාරය මඟින් මෙකී අන්තර්තාරීය ආමන්ත්‍රණය ගැඹුරු අභ්‍යවකාශය වෙත මුදා හරිනු ලැබූවේ 1974 නොවැම්බර් 16 වැනි දිනයි.
පිටසකවළ ශිෂ්ටාචාර සෙවීමේ ව්‍යායාමයේ පුරෝගාමීන් වූ තාරකාවිද්‍යාඥ ෆ්‍රෑන්ක් ඩ්‍රේක් (1930-2022) සහ කාල් සේගන් (1938-1996) විසින් මෙහෙයවනු ලැබූ විද්‍යාඥ කණ්ඩායමක් විසින් එය සම්ප්‍රේෂණය කරනු ලැබුවේ M13 තරු පොකුර ඉලක්ක කරගෙනයි. ද්විමය කේතවලින් සකසා තිබූ ඒ පණිවුඩයේ මිනිසාගේ DNA ව්‍යුහයත්, සෞරග්‍රහ මණ්ඩලයේ පෘථිවියට හිමි තැනත්, ඇරසිබෝ රේඩියෝ දුරේක්ෂයත් ඇඳ තිබුණා. ඉන් අදහස් කෙරුණේ, යම් හෙයකින් එය වෙනත් ජීව ශිෂ්ටාචාරයක් විසින් ග්‍රහණය කරගනු ලැබුව හොත් පණිවඩයේ මූලාශ්‍රය පිළිබඳ දල අදහසක් ලබාගත හැකි වීමයි.
M13 පිහිටා තිබෙන්නේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 25,000ක් ඈතින්. එනම් එහි සැබැවින් ම පිටසක්වළ ජීවයක් පවතී නම් සහ ඔවුන්ට අපගේ පණිවුඩය හමු වන්නේ නම්, ඒ සඳහා පණිවුඩය පිටත් කර හරින දිනයේ සිට වසර 25,000ක කාලයක් ගත වන බවයි.
ඇරසිබෝ පණිවුඩයෙන් පසු තවත් අවස්ථා කිහිපයක දී ම පාරභෞමික ජීවයක් සොයා රේඩියෝ පණිවුඩ යොමු කර තිබෙනවා. පයොනියර් සහ වොයේජර් වැනි ගැඹුරු අභ්‍යවකාශ යානා ද එයට උදාහරණයි.
Space.com ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්