Home Science News Huawei චිපවලින් වැඩ කරන කෘත්‍රිම බුද්ධි ශල්‍ය සහායක

Huawei චිපවලින් වැඩ කරන කෘත්‍රිම බුද්ධි ශල්‍ය සහායක

by Sathya

හොං කොංහි චීන විද්‍යා ඇකඩමිය (Chinese Academy of Sciences – CAS) මඟින් 2019 දී පිහිටුවන ලද කෘත්‍රිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය පිළිබඳ මධ්‍යස්ථානය (Centre for Artificial Intelligence and Robotics – CAIR) විසින් සිය නවතම කෘත්‍රිම බුද්ධි මොඩලය පසුගිය සිකුරාදා එළි දක්වනු ලැබුවා. Cares Copilot 2.0 නම් වන එය සැලසුම් කර ඇත්තේ ශල්‍ය වෛද්‍යවරුන්ට සහාය වීම පිණිසයි. මේ ඔස්සේ සැත්කම් සැලසුම් කිරීම, රෝග විනිශ්චය වාර්තා රැස් කිරීම සහ ඊට සමාන රෝග වැළඳී ඇති රෝගීන්ගේ වෛද්‍ය වාර්තා සොයා දීම ආදිය වඩාත් කාර්යක්ෂම ව සිදු කිරීමේ හැකියාව තිබෙනවා.

පසුගිය මාර්තු මාසයේ නිකුත් වූ Cares Copilot 1.0හි වඩා සංවර්ධිත මොඩලයක් ලෙස හඳුන්වා දිය හැකි මෙය පුහුණු කර ඇත්තේ Nvidia A100 චිපයකට සමාන සැකසුම් බලයකින් යුතු බව පැවසෙන Huawei හි Ascend 910B AI චිපය යොදාගෙනයි. CAIR හි විධායක අධ්‍යක්ෂ Liu Hongbin, South China Morning Post වෙත සඳහන් කර ඇති පරිදි සිය විද්‍යාගාර පර්යේෂණ කටයුතු සඳහා ඇති අවශ්‍යතා සියල්ල සපුරන්නට Huawei සමාගමේ චිප සමත් වනවා.

ශල්‍යකර්ම සඳහා කෘත්‍රිම බුද්ධිය ඉවහල් කරගත හැකි යෙදුම් නිර්මාණය කිරීම සඳහා චිප ලබාගත හැකි පරිදි CAIR, Huawei සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුවේ ඉකුත් වසරේ අගෝස්තු මාසයේ දීයි. CAIR, Huawei වෙත නැඹුරු වූයේ සම්බාධක හේතුවෙන් ඉදිරියේ දී ඇමරිකානු නිෂ්පාදිත චිප යොදාගැනීම අසීරු වන බව වැටහීමත් සමඟයි. මේ සහසම්බන්ධයත් සමඟින් Huawei ද සිය චිප නිෂ්පාදන හැකියාව අතින් අභිවෘද්ධියක් ලබා සිටිනවා.

Cares Copilot 2.0 මේ වන විට චීනයේ Guangzhou නගරයේ පිහිටා ඇති Sun Yat-sen University විශ්වවිද්‍යාලානුබද්ධිත රෝහලේ සහ හොං කොංහි ප්‍රින්ස් ඔෆ් වේල්ස් රෝහලේ ස්ථාපනය කරන්නට පියවර ගෙන තිබෙනවා.

Interesting Engineering ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications