ජපානයේ ispace සමාගම විසින් යවන ලද Resilience යානය චන්‍ද්‍රයා වටා කක්ෂයකට අවතීර්ණ ව තිබෙනවා.
ටෝකියෝ නුවර පිහිටි ispace සමාගම විසින් සංවර්ධනය කෙරුණු Resilience ගොඩබැසුම් යානය සැලසුම් කර තිබූ පරිදි ඉකුත් 06 වැනි දා චනද්‍රයා වටා කක්ෂයකට පිවිසී තිබෙනවා. එය ලබන මස චන්ද්‍රයා මතට ගොඩබැසීමට නියමිතයි.
“සැලසුම් කර තිබූ පරිදි ම අද Resilience ලෑන්ඩරය චන්‍ද්‍ර කක්ෂයට පිවිසීම ගැන අපි බලවත් ලෙස සතුටට පත් වනවා. සඳ මතට ගොඩබැසීම සඳහා සිදු කළ යුතු පූර්ව සූදානම් කටයුතු ප්‍රවේශමෙන් සහ දැඩි නිරවද්‍යතාවයකින් ඉදිරියට සිදු කරගෙන යනවා.” සමාගමේ නිර්මාතෘ මෙන් ම ප්‍රධාන විධායක නිලධාරී ටකේෂි හකමදා සඳහන් කරනවා.
Resilience යානය උඩුගුවන්ගත කෙරුණේ ඉකුත් ජනවාරි 15 වැනි දා SpaceX Falcon 9 රොකට්ටුවකින්. ඒ සමඟ ම ටෙක්සාස්හි පිහිටි Firefly Aerospace සමාගමේ Blue Ghost චන්ද්‍ර ලෑන්ඩරය ද අභ්‍යවකාශගත කෙරුණා.
යානා ද්විත්වය ම එක ම රොකට්ටුවකින් මුදාහැරුණත්, Blue Ghost වඩාත් ඍජු ගමන් මඟක ගමන්ගත් නිසා පෙබරවාරි 13 වැනි දා සඳ වටා කක්ෂයකට පිළිපන් අතර, මාර්තු 02 වැනි දා ඒ මතට සුමට ගොඩබැස්මක් සිදුකළා.
Resilience යානය ගමන් කළේ වඩාත් බලශක්ති පිරිමැසුම් මාර්ගයකයි.
සියල්ල යහපත් අයුරින් සිදු වුවහොත් ලබන ජුනි මස 05 වැනි දා සඳේ උතුරු අර්ධගෝලයේ පිහිටි පාෂාණමය තැනිතලා පෙදෙසක් වන Mare Frigoris හෙවත් ‘සීතල සාගරය’ මතට සුමට ගොඩබැස්මක් සිදුකරනු ඇති.
Space.com ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්