Home Science News ලොව පැරැණි ම මමී අග්නිදිග ආසියාවෙන්

ලොව පැරැණි ම මමී අග්නිදිග ආසියාවෙන්

by Sathya

ලොව මෙතෙක් හඳුනාගෙන ඇති පැරැණිතම මමී අග්නිදිග ආසියාවෙන් සොයාගැනීමට විද්‍යාඥයන් සමත් ව සිටිනවා. ඔවුන් සඳහන් කරන පරිදි මේවා වසර 12,000ක් පමණ පැරැණි බව හෙළි වී තිබෙනවා.

මමීකරණය මඟින් මළ සිරුරක් කුණු වීම සහ දිරාපත් වීම වළකා සංරක්ෂණය කෙරෙනවා. චිලී රාජ්‍යයේ අටකාමා කාන්තාරය සහ අයර්ලන්තයේ තෙත්භූමිවල මෙම ක්‍රියාවලිය ස්වාභාවික ලෙස හටගත හැකි ප්‍රශස්ත පාරිසරික තත්ත්වයන් පවතිනවා. විවිධ සංස්කෘතීන්ට සහ ශිෂ්ටාචාරයන්ට අයත් මිනිසුන් ඉතිහාසය පුරා මළවුන් මමීකරණයට ලක් කිරීමේ චාරිත්‍ර සිදුකර තිබෙනවා.

මමී කී සැණින් සිහියට නැඟෙන්නේ ඊජිප්තුවේ ඇති පාරාවන්ගේ මමීකෘත සිරුරු වුවත්, ඊටත් පැරැණි මමීකරණයට ලක් වූ සිරුරු ලොව නන් දෙසින් හමු වී තිබෙනවා. මෙතෙක් කලක් ලොව පැරැණිත ම මමීකරණයට ලක් කරන ලද සිරුරු ලෙස සැලකුණේ වර්තමානයේ පේරු සහ චිලී රාජ්‍යයන් පිහිටන භූමියේ අදින වසර 7,000කට පෙර විසූ චින්කොරෝ ජනයාගේ මමී සිරුරුයි.

කෙසේ නමුත් පසුගිය දා Proceedings of the National Academy of Sciences ජර්නලයේ පළ වූ නවතම අධ්‍යයනයකින් මෙතෙක් හඳුනාගත් පැරැණිතම මමීවලට හිමි වාර්තාව වෙනස් වනවා පමණක් නොව වසර 12,000ක් දක්වා ඉතිහාසයකට උරුමකම් කියන බව ද පැවසෙනවා.

පර්යේෂකයන් විසින් චීනයේ සහ වියට්නාමයේ විවිධ පුරාවිද්‍යාත්මක ස්ථානවල සිට, සහ අඩු වැඩි වශයෙන් පිලිපීනය, ලාඕසය, තායිලන්තය, මැලේසියාව සහ ඉන්දුනීසියාව යන රටවලින්, හිඳගත් වකුටු යූ ඉරියව්වලින් තැන්පත් කර තිබූ මිනිස් සිරුරු කොටස් හමුවී ඇති අතර, ඒවායේ සමහරක් කැපුම් ලකුණු සහ පිළිස්සුම් ලකුණු සහිත ව හමු වී තිබෙනවා.

ඇටකටු තවදුරටත් අධ්‍යයනය කිරීමේ දී, විද්‍යාඥයන් සොයාගත්තේ එම ශරීර බොහෝ විට තාපයට නිරාවරණය වී ඇති බවයි. එයින් ඇඟවුණේ එම ශරීර දඩයම් රැස්කරන ප්‍රජාවන් විසින් ගින්නක් මත දුමේ දමා වියළා මමීකරණය කර ඇති බවයි.

“මෙම චාරිත්‍රය මිනිසුන්ට ඔවුන්ගේ පූර්වජයන් සමඟ භෞතික හා ආත්මික සම්බන්ධතා පවත්වා ගැනීමට, කාලය හා මතකය යා කිරීමට ඉඩ සැලසුවා.” මෙම අධ්‍යයනය මෙහෙයවූ ජපානයේ සපෝරෝ වෛද්‍ය විශ්වවිද්‍යාලයේ හිරෝෆුමි මත්සුමුරා සඳහන් කරනවා.

කෙසේ නමුත් මෙම අධ්‍යයනයට අදාළ ව, මමීකරණය කළ ශරීරවල කාල නිර්ණය කිරීමේ ක්‍රමවල තවත් වැඩිදියුණු කිරීම් අවශ්‍ය විය හැකි බවත්, ගිනිකොන ආසියාවේ අදාළ සියලු ම ස්ථානවල මමීකරණය කළ ශරීර ස්ථිරව දුම් දමා වියළා ඇති ද යන්න ව තවමත් පැහැදිලි නැති බවත් මෙම පර්යේෂණයට සම්බන්ධ නොවූ ස්වීඩනයේ උප්සලා විශ්වවිද්‍යාලයේ මානව පරිණාමය පිළිබඳ විශේෂඥ රීටා පෙයිරෝටියෝ ස්ට්ජර්නා සඳහන් කරනවා.

සෞන්දර්ය සෙනරත්

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications