Home Science News හෝමුස් සමුද්‍ර සන්ධියේ පාරිසරික කිරුළ යුද ගැටුම් හමුවේ දැඩි අවදානමක

හෝමුස් සමුද්‍ර සන්ධියේ පාරිසරික කිරුළ යුද ගැටුම් හමුවේ දැඩි අවදානමක

by Sathya

පර්සියානු ගල්ෆ් කලාපයේ පවතින දේශපාලනික සහ යුදමය නොසන්සුන්තාවය හමුවේ, ලොව සුන්දරතම සහ වැදගත්ම පාරිසරික පද්ධතියක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය දැඩි විනාශයකට මුහුණ දෙමින් සිටිනවා. දේශපාලන අර්බුද මැද සිර වී ඇති දහස් සංඛ්‍යාත නෞකා සහ නිරන්තරයෙන් සිදුවන ප්‍රහාර හේතුවෙන් මෙම කලාපයේ වෙසෙන දුර්ලභ සාගර ජීවීන්ගේ පැවැත්මට එල්ල වී ඇත්තේ බරපතල තර්ජනයක්.

හෝමුස් සමුද්‍ර සන්ධිය යනු හුදෙක් දේශපාලනික වශයෙන් වැදගත් මාවතක් පමණක් නොව, එය පාරිසරික විද්‍යාඥයන් විසින් “ගල්ෆ් කලාපයේ පාරිසරික කිරුළ” ලෙස හඳුන්වනු ලබන ඉතාමත් සුවිශේෂී කලාපයක් වනවා. ගැඹුරු ඕමාන් බොක්ක සහ නො ගැඹුරු පර්සියානු ගල්ෆ් කලාපය අතර පවතින මෙම සංක්‍රාන්ති කලාපය, පෝෂක ද්‍රව්‍ය රැගෙන එන සාගර ප්‍රවාහයන් හේතුවෙන් කොරල් පර සහ ප්ලවාංග සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කරනවා. මෙම කලාපය ඩොල්ෆින් මසුන්, වඳ වී යාමේ තර්ජනයට ලක් ව ඇති අරාබි හම්ප්බැක් තල්මසුන් සහ මුහුදු කැස්බෑවුන් වැනි සතුන් රාශියකට නිවහන වනවා. විශේෂයෙන් ම මෙහි පවතින අතිශය දැඩි උෂ්ණත්වයට සහ ඉහළ ලවණතාවයට ඔරොත්තු දෙන කොරල් පර, ලොව ශක්තිමත් ම කොරල් පර ලෙස සැලකෙන අතර, ඒවා අනාගත දේශගුණික විපර්යාස හමුවේ සාගර ජීවීන්ගේ පැවැත්ම පිළිබඳ පර්යේෂණ කිරීමට විද්‍යාඥයන්ට මහඟු ආදර්ශයක් සපයනවා.

කෙසේ වෙතත්, වර්තමානයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් තෙල් ලීටර් බිලියන 21ක් පමණ රැගත් නෞකා 2,000කට අධික සංඛ්‍යාවක් මෙම කලාපයේ සිර වී පවතිනවා. ඇමරිකානු ප්‍රහාරයකට ලක් වූ ‘ෂාහිඩ් බාගෙරි’ වැනි නෞකාවලින් සිදුවන තෙල් කාන්දු වීම් මඟින් ඒ අසල පිහිටි ආරක්ෂිත තෙත් බිම් සහ සංවේදී සාගර කලාප දැඩි ලෙස දූෂණය වෙමින් පවති බව පර්යේෂකයන් පෙන්වා දෙනවා. විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ බොරතෙල්වල අඩංගු විෂ රසායනික ද්‍රව්‍ය සාගර ජීවීන්ගේ හෘද ක්‍රියාකාරිත්වය, ශ්වසනය සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියට සෘජුවම හානි කරන බවයි. තව ද, මෙම තෙල් කාන්දු වීම්වලින් සතුන්ගේ ස්නායු පද්ධතිය අඩපණ වන අතර, ඒ හේතුවෙන් ඔවුන්ට තමන්ගේ සතුරන්ගෙන් බේරීමට, ආහාර සොයා ගැනීමට හෝ නිවැරැදි දිශානතිය හඳුනාගැනීමට ඇති හැකියාව අහිමි වී වනවා.

මෙම විනාශය හුදෙක් එක් සතෙකුට පමණක් සීමා නොවී, සමස්ත සාගර ආහාර ජාලයම බිඳ වැටීමට හේතු විය හැකි බව විද්‍යාඥයෝ අනතුරු අඟවනවා. කොරල් පර සහ කඩොලාන පද්ධති විනාශ වීම හේතුවෙන් මත්ස්‍ය සම්පත හීන වී යන අතර, එය කලාපීය ධීවර කර්මාන්තයට මෙන්ම සංචාරක කර්මාන්තයට ද බලවත් තර්ජනයක් ලෙස ඉස්මතු වනවා. හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින මෙම අමිල පාරිසරික උරුමය රැක ගැනීම සඳහා යුද ගැටුම් සමනයට පත් වීම අත්‍යාවශ්‍ය වන බවයි විද්‍යාඥයන් අනාවරණය කරන්නේ.

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications