Home Science News 3I/ ATLAS සම්භවය සිදු වූ ඉසව්ව ගැන අලුත් අධ්‍යයනයක්

3I/ ATLAS සම්භවය සිදු වූ ඉසව්ව ගැන අලුත් අධ්‍යයනයක්

by Sathya

පසුගිය වසරේ අපගේ සෞරග්‍රහ මණ්ඩලය හරහා ගිය 3I/ATLAS අන්තර් තාරීය ධූමකේතුව, තවමත් තාරකා පද්ධතියක් වර්ධනය නොවූ ක්ෂීරපථ මන්දාකිණියේ අතිශය සීතල සහ හුදකලා කලාපයකින් පැමිණි එකක් බව තාරකා විද්‍යාඥයෝ පවසනවා. මෙම වස්තුව අපගේ සෞරග්‍රහ මණ්ඩලය හරහා පිවිසි බවට මේ දක්වා නිල වශයෙන් තහවුරු කරගත් තෙවන අන්තර් තාරීය වස්තුව වන අතර, එය වසර බිලියන 11ක් පමණ පැරණි බව විද්‍යාඥයන්ගේ අදහසයි. එය අපගේ සූර්යයාගේ වයස මෙන් දෙගුණයකටත් වඩා වැඩි බැවින්, මෙතෙක් හමුවූ පැරණිතම අන්තර් තාරීය වස්තුව වීමට ද ඉඩ තිබෙනවා.

චිලී රාජ්‍යයේ ALMA නිරීක්ෂණාගාරය භාවිතයෙන් මිචිගන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් සිදු කරන ලද පරීක්ෂණවල දී හෙළි වී ඇත්තේ මෙම වල්ගාතරුවේ අයිස්වල අතිවිශාල ප්‍රමාණයකින් ඩියුටීරියම් හෙවත් බර හයිඩ්‍රජන් අඩංගු වන බවයි. මෙතරම් ඉහළ ඩියුටීරියම් ප්‍රමාණයක් තිබීමෙන් පැහැදිලි වන්නේ මෙම වස්තුව අපගේ සෞරග්‍රහ මණ්ඩලය බිහිවීමටත් පෙර ඉතා අඩු උෂ්ණත්වයක් සහිත පරිසරයක නිර්මාණය වී ඇති බවයි. පර්යේෂකයන් පෙන්වා දෙන්නේ අපගේ සූර්යයා බිහිවන විට අවට වෙනත් තාරකා පැවතිය ද, මෙම වල්ගාතරුව බිහි වූ පද්ධතියට අයත් තාරකාව වඩාත් හුදකලාව පැවතීම නිසා මෙතරම් සීතල තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි.

හබල් අභ්‍යවකාශ දුරේක්ෂයේ දත්තවලට අනුව මෙම වල්ගාතරුවේ මධ්‍යය සැතපුම් 0.25 සිට 3.5 දක්වා විශාලත්වයකින් යුක්ත වන අතර, එය පැයට සැතපුම් 137,000ක වේගයෙන් ඇදී යනවා. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී අඟහරු ග්‍රහයා පසුකර ගිය මෙම වස්තුව දෙසැම්බර් මාසයේ දී පෘථිවියට වඩාත් සමීප වූ අතර, මේ වන විට බ්‍රහස්පති ග්‍රහයා පසුකර සෞරග්‍රහ මණ්ඩලයෙන් සදහට ම සමුගැනීමට සූදානම් මාර්ගයක ගමන් කරමින් සිටිනවා.

පර්යේෂණ කණ්ඩායමේ නායිකා තෙරේසා පැනේක්-කැරේනෝ සඳහන් කරන පරිදි, මෙම වස්තුවේ ඇති සුවිශේෂී රසායනික ලක්ෂණ විශ්වයේ මුල් අවධියේ ග්‍රහලෝක නිර්මාණය වූ ආකාරය පිළිබඳව නව තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට උපකාරී වනවා. 2017 දී හමුවූ Oumuamua සහ 2019 දී හමුවූ Borisov වල්ගාතරුවට පසුව හමු වූ මෙම සුවිශේෂී අමුත්තාගේ සම්භවය පිළිබඳ පර්යේෂණ වාර්තාව Nature Astronomy සඟරාවේ පසුගිය දා පළ වුණා.

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications