සූර්ය සුළඟ නිසා ලෙමන් ධූමකේතුවේ වල්ගය කැඩෙයි

මේ වන විට පෘථිවියට සමීපස්ථ ම ලක්ෂ්‍යය පසුකරමින් හිරුට සමීප වන ලෙමන් ධූමකේතුවේ (Comet Lemmon) (C/2025 A6) ලබාගත් අලුත් ම ඡායාරූපවලින්, දැක්වෙන්නේ එහි වල්ගයේ කොටසක් ‘ඉරී ගොස්’ ඇති බවයි. එයට හේතුව සූර්යයාගේ සිට හමන සූර්ය සුළඟ බව විද්‍යාඥයන් සඳහන් කරනවා..

වල්ගයේ බිඳී යාම සිදු වී ඇත්තේ ධූමකේතුව පෘථිවියට සමීපතම ප්‍රවේශය සිදු කිරීමට නියමිත ව තිබූ ඉකුත් අඟහරුවාදාට (ඔක්තෝබර් 21) දින දින කිහිපයකට පෙරයි.

ඡායාරූප ශිල්පී පෙට්‍රා හොරාලෙක් (Petr Horálek) විසින් චෙක් ජනරජයේ සෙක් විල (Lake Seč) අසල දී ඉකුත් ඔක්තෝබර් 18 දා අලුයම ලබාගත් ඡායාරූපයක මේ බව මුලින් ම සටහන් වී තිබුණා. එම මුල් පුළුල් ක්ෂේත්‍ර (wide-field) ඡායාරූපයේ රාත්‍රී අහසේ පහතින් දිස් වූ අවර්ණ රතු-රෝස පැහැති උත්තරාලෝක ද සටහන් වී තිබෙනවා.

මෙම උත්තරාලෝකයන් (Northern Lights), එදින ම උදෑසන ආරම්භ වූ G2 (මධ්‍යස්ථ) පන්තියේ භූ චුම්භකිත කුණාටුවක ප්‍රතිඵලයකි. පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රයට සිදු වූ මෙම තාවකාලික බාධාව ඇති වූයේ සූර්යයා වෙතින් සිදු වූ කිරීටක ස්කන්ධ පිටකිරීමක් (coronal mass ejection – CME) අපේ ග්‍රහලෝකයේ වායුගෝලය හා ගැටීමෙනි. මෙය සිදු වී තිබුණේ මුලින් අපේක්ෂා කළාට වඩා දින දෙකකට පමණ පසුවයි.

කෙසේ නමුත් ලෙමන් ධූමකේතුවේ වල්ගය ඉරීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ එම සූර්ය කිරීටක ස්කන්ධ විදාරණය නො වන බවක්, ප්‍රබල සූර්ය සුළං පහරක් (solar wind gust) හේතුවෙන් එය වූ බවත් විද්‍යාඥයන් සඳහන් කරනවා.

සූර්යයා වෙත ළඟා වන විට, වලිගය දිගේ ඇතිවන රිද්මයානුකූල රැලි ගැසීම් අසාමාන්‍ය දෙයක් නොවෙයි. නමුත් ගලා යන වලිගයේ කොටස් සම්පූර්ණයෙන්ම වෙන්වීම, හෙවත් විසන්ධි වීමේ සිදුවීම් (disconnection events), ඊට වඩා දුර්ලභයි.

ලෙමන් ධූමකේතුවේ වලිගයට සූර්යයාගෙන් පහර වැදුණු පළමු අවස්ථාව මෙය නොවෙයි. Space.com ට අනුව, සැප්තැම්බර් අග භාගයේ දී ද ප්‍රබල සූර්ය සුළං පහරකින් වලිගය සෙලවීමට ලක් ව ඇති අතර, ඔක්තෝබර් 4 වන දින සුළු විසන්ධි වීමේ සිදුවීමක් ද වාර්තා වී තිබුණා. සෑම අවස්ථාවක දී ම, ධූමකේතුවේ වලිගය ඛණ්ඩනය වීමෙන් පැය කිහිපයක් ඇතුළත යළි යථා තත්ත්වයට පත් ව තිබෙනවා.

සෞන්දර්ය සෙනරත්

 

Related posts

SpaceX රොකට් කොටසක් අද හඳට කඩා වැටෙයි

ඩයිනෝසරයන්ගේ වඳ ව ගිය ග්‍රහක ගැටුමෙන් මිනිසුන්ට දරාගත හැකි උපරිම උෂ්ණත්වය මෙන් 17 ගුණයක තාපයක් නිකුත් වී ඇති බව නවතම අධ්‍යයනයක් පෙන්වා දෙයි

පැසිෆික් කලාපයේ යමහල් විදාරණ හේතුවෙන් පෘථිවිය සියවස් ගණනාවක් පුරා සිසිල් වී ඇති බව හෙළි වෙයි