Home Science News අයිස්ලන්තයෙන් පළමු වරට මදුරුවන් සොයාගැනේ

අයිස්ලන්තයෙන් පළමු වරට මදුරුවන් සොයාගැනේ

by Sathya

මදුරුවන් නො සිටි අයිස්ලන්තයෙන් පළමු වරට මදුරුවන් සොයාගෙන තිබෙනවා. ඒ ගතවුණු වසන්ත ඍතුවේ එරටින් කැපී පෙනෙන උෂ්ණත්වයක් වාර්තා වීමත් සමඟයි.

​කෘමින් ගැන අධ්‍යයනයේ නිරත වන බියෝර්න් හ්ජල්ටාසන් හට පසුගිය සතියේ රාත්‍රීන් කිහිපයක දී ම මෙම මදුරුවන් දර්ශනය වී තිබෙනවා. ඔහු වයින් පොඟවන ලද පටි යොදා ගනිමින් විවිධ කෘමි සතුන් අධ්‍යයනයේ නිරත ව සිට තිබුණා.

එරට මාධ්‍ය සඳහන් කරන පරිදි ශීත කාලයේ සාර්ථක ලෙස දිවි රැකගත හැකි මදුරු විශේෂ කිහිපයෙන් එකක් වන Culiseta annulata විශේෂයට අයත් ගැහැනු මදුරුවන් දෙදෙනෙකු සහ එක් පිරිමි මදුරුවෙකු සොයායාගන්නට ඔහු සමත් වී තිබෙනවා.

එහි ඇති ශීත දේශගුණය හේතුවෙන් අයිස්ලන්තය මෙතෙක් සැලකුණේ මිහිමත මදුරුවන්ගෙන් තොර ස්ථාන දෙකෙන් එකක් ලෙසයි. මදුරුවන්ගෙන් තොර බවට වාර්තාගත අනෙක් ස්ථානය වන්නේ ඇන්ටාක්ටිකාවයි.

​මෙම මදුරුවන් අයිස්ලන්තයේ අගනුවර වන රෙක්ජාවික් (Reykjavik) නගරයේ නිරිත දෙසින් පිහිටි ග්ලැසියර නිම්නයක් වන ක්ජෝස් (Kjós) ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.

​අයිස්ලන්ත මාධ්‍ය වාර්තා කළේ, මදුරුවන්ගේ ඡායාරූප සමඟින්, “රතු වයින් පීත්ත පටියක සිටි අමුතු මැස්සෙක්” ලෙසින් විස්තර කරමින්, සිය සොයාගැනීම පිළිබඳ පුවත, ප්‍රදේශයේ වනජීවීන් වෙනුවෙන් වෙන් කරන ලද ෆේස්බුක් පිටුවක, හ්ජල්ටාසන් මහතා විසින් පළ කර ඇති බවයි. ​”මේක මම මීට කලින් කවදාවත් දැකලා නැති දෙයක් බව මට එකපාරටම තේරුණා,” ඔහු එම සටහනේ සඳහන් කර තිබූ අතර, “අන්තිම බලකොටුවත් බිඳ වැටිලා වගේ” යැයිද වැඩිදුරටත් සඳහන් කර තිබුණා (මින් පෙර අයිස්ලන්තය මදුරුවන් නැති සුරපුරක් ලෙස සැලකුණා).

හ්ජල්ටාසන් මහතා මෙම කෘමීන් හඳුනාගැනීම සඳහා අයිස්ලන්ත ස්වභාවික ඉතිහාස ආයතනය (Icelandic Institute of Natural History) වෙත යැවූ අතර, එහි දී කීට විද්‍යාඥ මැතියස් ඇල්ෆ්‍රෙඩ්සන් (Matthías Alfreðsson) ඔහුගේ සැකය තහවුරු තහවුරු කර තිබෙනවා.

ඇල්ෆ්‍රෙඩ්සන් සඳහන් කරන්නේ මේ මදුරු විශේෂය යුරෝපයේ සහ උතුරු අප්‍රිකාවේ සුලබ වුවත්, අයිස්ලන්තයට පැමිණියේ කෙසේ දැ යි මෙතෙක් තහවුරු කරගැනීමට නො හැකි වූ බවයි.

සත්‍ය හෙට්ටිආරච්චි

 

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications