ජපානයේ නවතම භාණ්ඩ ප්‍රවාහන යානය ISS වෙත දියත් වෙයි

ජපානයේ HTV-X භාණ්ඩ ප්‍රවාහන යානය පසුගිය 25 වැනි දා සිය ප්‍රථම මෙහෙයුම දියත් කරමින් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ බලා දියත් වුණා.

ජපානයේ ටනෙගෂිමා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට රොබෝතික HTV-X යානය දියත් වුණේ ජපානය සතු H3 රොකටයක ආධාරයෙන්. එය හෙට දිනයේ (29) ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා ඈඳීමට නියමිත ව තිබෙනවා.

HTV-X යනු ජපාන අභ්‍යවකාශ ගවේෂණ නියෝජිතායතනය (JAXA) මෙතෙක් භාවිත කළ H-II Transfer Vehicle (HTV) යානයේ අනුප්‍රාප්තිකයායි. විශ්‍රාම ගැන්වීමට පෙර H-II Transfer Vehicle (HTV) යානය 2009ත් 2020ත් අතර ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට නව වතාවක් මෙහෙයුම් සඳහා පිටත් ව ගොස් තිබෙනවා.

මීටර් 8 ක් උස මෙම නව ප්‍රවාහන යානය එහි පූර්වගාමියාට වඩා මීටර් 1.2කින් පමණ කෙටි වුව ද, එයට දළ වශයෙන් සමාන බරක් සහිත ව (කිලෝග්‍රෑම් 6,000 ක් පමණ) පහළ පෘථිවි කක්ෂයට ගෙන යාමේ හැකියාවෙන් යුක්තයි.

HTV-X යානයේ ප්‍රථම පියාසැරිය සමඟින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත භාණ්ඩ ප්‍රවාහනය කරන යානා ගණන හතර දක්වා ඉහළ යනවා. ඒ අනුව රුසියාවේ Progress, Northrop Grumman සමාගමේ Cygnus සහ SpaceX සමාගමේ Dragon යානා අතරට ජපානයේ HTV-X යානය ද ඇතුළත් වනවා.

සෞන්දර්ය සෙනරත්

 

Related posts

Artemis II ගගනගාමීන්ට ඇමරිකාවේ ඉහළම අභ්‍යවකාශ ගෞරව සම්මානය හිමි වෙයි

නැන්සි ග්‍රේස් රෝමන් දුරේක්ෂය සාර්ථකව දියත් කෙරෙයි

වසර බිලියන 13ක් පැරණි ‘අඳුරු තාරකාවලින්’ නිකුත් වන අභ්‍යවකාශ තරංග පිළිබඳව නවතම හෙළිදරව්වක්