Home Science News NASA අඟහරු යානා ගත් 3I/ATLASගේ පැහැදිලි ම ඡායාරූප මුදාහරී

NASA අඟහරු යානා ගත් 3I/ATLASගේ පැහැදිලි ම ඡායාරූප මුදාහරී

by Sathya

 

සෞරග්‍රහ මණ්ඩලය හරහා යන, මෙතෙක් හඳුනාගත් තුන්වැනි අන්තර්තාරීය අභ්‍යවකාශ වස්තුව වන 3I/ATLAS හි පැහැදිලි ම ඡායාරූප දැකබලා ගැනීමේ හැකියාව අද ලෝ වැසියන් හට හිමි ව තිබෙනවා. ඉකුත් 17 දා NASA නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ නැගෙනහිර වේලාවෙන් ඊයේ සවස 3.00ට (එනම් ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම 1.30ට) මාර්ගගත ව පැවැත්වෙන සජීව පුවත් සාකච්ඡාවකින් මෙම ඡායාරූප හා ඊට සබැඳි දත්ත ප්‍රසිද්ධියට පත් කිරීමට කටයුතු සම්පාදනය කර ඇති බවයි. අනතුරු ව ඒවා NASA වෙබ් අඩවියේ 3I/ATLAS වෙනුවෙන් වෙන් කර ඇති පිටුවේ ද පළ කෙරෙනු ඇති.

ඉකුත් ඔක්තෝබර් මස 3 වැනි දා ධූමකේතුවක් බවට සැලකෙන 3I/ATLAS අඟහරුට කිලෝමිටර මිලියන 30ක් තරම් ආසන්න දුරකින් ගමන් කළ අතර එය එම වස්තුව ග්‍රහයෙකු අසලින් ගමන් කළ අවම දුරක් සහිත අවස්ථාවයි. NASA, ESA සහ චීන අභ්‍යවකාශ නියෝජිතායතනයට අයත් අඟහරු කක්ෂයේ තිබූ යානා මෙය නිරීක්ෂණය කිරීම සඳහා යොදා ගැනුණා. කෙසේ නමුත් මෙය හොඳින් ම ඡායාරූපගත කිරීමේ හැකියාව තිබූ NASA ආයතනයට අයත්, Mars Reconnaissance Orbiter යානය සතු HiRISE කැමරාවෙන් ලබාගත් ඡායාරූප මේ වන තෙක් මුදාහැරීමට නො හැකි ව තිබුණේ ඇමරිකානු රජයේ ආයතන මුහුණපාමින් සිටි ‘ශට්ඩවුන්’ තත්ත්වය හේතුවෙන්.

පිළිගත් මතය ලෙස මෙය ධූමකේතුවක් ලෙස සැලකුණත්, අවි ලොයෙබ් වැනි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ එය සතු ව ධූමකේතුවකට පරස්පර හැසිරීම් රටා 10කට ආසන්න සංඛ්‍යාවක් ඇති බවයි.
සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහ තැටියට අංශක 5ක් තරම් අවම ආනත ස්වභාවයකින් යුතු අතිශය විරල මාර්ගයක පැමිණීම, අඟහරු, සිකුරු සහ බ්‍රහස්පති ග්‍රහයන්ට (සාපේක්ෂ ලෙස) සමීප වන මෙන් ම හිරුට ආසන්නත ම ලක්ෂ්‍යය පෘථිවියට නො පෙනෙන සේ පසු කිරීම, පිටතට නිකුත් වූ වායු ගොමුවේ සාමාන්‍ය වල්ගාතරුවකට වඩා අතිශය වෙනස් ලෙස අධික නිකල් ප්‍රතිශතයක් අඩංගු වීම, ඉකුත් ජුලි සහ අගෝස්තු අතර කාලයේ හිරු දෙසට ද වල්ගයක් ඇදී ඇති ආකාරය නිරීක්ෂණය වීම මෙන් ම හිරූට සමීප වන විට දැඩි ලෙස උණුසුම් ව නිල් පැහැයකින් දිස් වීම ආදිය 3I/ATLASගේ ආගන්තුක හැසිරීම්වලට ඇතුළත්.

ඉකුත් ඔක්තෝබරයේ 3I/ATLAS අඟහරුට සමීප ව කළ පියාසැරිය අතතුර දී අඟහරු කක්ෂයේ ඇති ප්‍රබලම කැමරා පද්ධතිය හිමි NASA ආයතනයට අයත්, Mars Reconnaissance Orbiter (MRO) යානය මඟින් ලබාගැනුණු ඡායාරූප මෙතෙක් පිටතට නිරාවරණය නො කිරීම පිළිබඳව ද ප්‍රශ්නකාරී වාතාවරණයක් ඇති වී තිබුණා. රිපබ්ලිකන් කොංග්‍රස් මණ්ඩල සභික ඇනා පෝලිනා ලූනා වැඩබලන NASA ප්‍රධානී ශෝන් ඩෆී වෙත ලිපියක් යොමු කරමින් ගෝලීය විද්‍යා ප්‍රජාව වෙනුවෙන් මෙය හැකි ඉක්මනින් මුදාහරින ලෙස ඉල්ලා සිටියත්, එරට රාජ්‍ය ආයතනවල පවතින ‘ශට්ඩවුන්’ තත්ත්වය හේතුවෙන් තවදුරටත් එව පමා වුණා. කෙසේ නමුත් ඉකුත් නොවැම්බර් 12 වැනි දා එම තත්ත්වයේ නිමා වීමත් සමඟ සුපුරුදු රිද්මයෙන් කටයුතු කිරීමේ හැකියාව NASA වෙත ලැබී තිබෙනවා. මෙලෙස ATLASගේ මෙතෙක් ලබාගැනුණු සුපැහැදිලිතම ඡායාරූප මාධ්‍යයට නිකුත් වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.

නිකුත් කර ඇති ඡායාරූප අතර MRO යානයෙන් ලබාගත් ඡායාරූප මෙන් ම පර්සවරන්ස් රෝවරය සහ ජේම්ස් වෙබ් දුරේක්ෂයෙන් ලබාගත් ඡායාරූප ද වනවා.

සෞන්දර්ය සෙනරත් 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications