Home Science News ‘ඩයිනොසෝර් ගස’ පළමු වරට බීජ නිපදවයි

‘ඩයිනොසෝර් ගස’ පළමු වරට බීජ නිපදවයි

by Sathya

දුර්ලභ ගණයේ උද්භිත විද්‍යාත්මක සංධිස්ථානයක් සනිටුහන් කරමින්, ලෝකයේ පැරැණිතම ශාක විශේෂයක් වන වොලමි පයින් ගසක් බ්‍රිතාන්‍යයේ උද්‍යානයක දී ප්‍රථම වරට ඵල දරා තිබෙනවා.

‘ඩයිනොසෝර ගස’ යනුවෙන් ද හැඳින්වෙන මෙම Wollemia nobilis ශාක විශේෂය වසර මිලියන 90කට අධික අතීතයකට දිව යන පෙළපතකට අයත්වන අතර, 1994 වසරේ දී ඕස්ට්‍රේලියාවේ ගිරි දුර්ගයක සැඟව තිබූ කුඩා ගහනයක් සොයාගන්නා තෙක් ම සැලකුණේ වඳ ව ගොස් ඇති ශාක විශේෂයක් හැටියටයි.

මේ ගහණයෙන් පැළයක්, 2010 දී ඒකසත් රාජධානියේ වෝසෙස්ටර්ෂයරයේ වත්තක සිටවූ පැමෙලා සහ ඇලස්ටෙයාර් තොම්සන් යුවළ මෑතක දී සොයාගෙන ඇත්තේ තම වොලමි පයින් ගසේ පුරුෂ සහ ස්ත්‍රී කේතු දෙක ම පිබිදී ඇති බවයි. මෙය දිගුකාලීන සංරක්ෂණ බලපෑමක් ඇති කළ හැකි ප්‍රජනන සංධිස්ථානයක් බව ඔවුන් පෙන්වාදෙනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙම දුර්ලභ සිදුවීම උද්‍යාන විද්‍යාත්මක කුතුහලයට පමණක් හේතු වන්නක් පමණක් නොව, ප්‍රකෘතිමත් භාවයේ ද සංකේතයක් වන බවයි. වඳ වී යාමේ අද්දර, දැඩි ලෙස අන්තරායට ලක් ව ඇති මෙම ශාක විශේෂය සංරක්ෂණය කිරීමට සහ තවදුරටත් ව්‍යාප්ත කිරීමට මෙය රුකුලක් වනු ඇති බව ඔවුනගේ අදහසයි. මෙහි හටගන්නා බීජ එකතු කර නව පරම්පරා බිහිකිරීම තොම්සන් යුවළගේ අපේක්ෂාවයි.

දේශගුණ විපර්යාසය සහ වාසස්ථාන අහිමි වීම ලොව පුරා ජෛව විවිධත්වයට තර්ජනයක් ව ඇති විට, නූතන උද්‍යානයක මෙම ප්‍රාග් ඓතිහාසික ගසෙහි වර්ධනය අපට සිහිගන්වන්නේ, රැකවරණයෙන් හා උත්සාහයෙන්, දුර්ලභ ම ජීවීන් පවා සංරක්ෂණය කළ හැකි බව සහ ඇතැම් විට, නැවතත් සශ්‍රීක මට්ටමකට පත් කළ හැකි බවයි.

නිම්නා අමරසේකර

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications