Home Science News ඔර්කාවන් සහ ඩොල්ෆින් මසුන් සහයෝගයෙන් දඩයම් කරන බව සොයාගැනේ

ඔර්කාවන් සහ ඩොල්ෆින් මසුන් සහයෝගයෙන් දඩයම් කරන බව සොයාගැනේ

by Sathya

ඔර්කා සහ ඩොල්ෆින් සතුන්, සැමන් මසුන් දඩයම් කිරීම සඳහා කණ්ඩායම් හැඟීමකින් යුතු ව වැඩ කරන බව ප්‍රථම වතාවට නිරීක්ෂණය කර තිබෙනවා. නවතම අධ්‍යයනයකින් පෙන්වා දී ඇත්තේ බ්‍රිටිෂ් කොලොම්බියා මුහුදෙන් වාර්තා වූ මේ නිරීක්ෂණයෙන් විලෝපියකයන් විශේෂ දෙක සහයෝගී සම්බන්ධතාවක් පවත්වාගන්නා බව පෙනී යන බවයි.

ඉකුත් දා Scientific Reports ජර්නලයේ පළ වූ ඊට අදාළ අධ්‍යයනයෙන් මිනීමරු තල්මහ යනුවෙන් ද හැඳින්වෙන ඔර්කාවන් සහ ඩොල්ෆිනයන් අතර පවතින සබැඳියාව හුදු විරල දෙයක් නො වන බව පෙන්වා දෙනවා.

දීර්ඝ කාලීන ලේඛණගතකිරීම්, ඩ්‍රෝන යානාවල වීඩියෝපට, ධ්වනි තරංග සහ දිය යට දී පටිගත කළ දර්ශන ආදිිය ගැඹුරින් විශ්ලේෂණය කළ බ්‍රිටිෂ් කොලොම්බියා විශ්වවිද්‍යාලයේ මෙන් ම ලෙයිබ්නිස් සහ හාකායි යන ආයතනවල විද්‍යාඥයන් නිගමනය කර ඇත්තේ මේ විශේෂ දෙක තනි කණ්ඩායමක් ලෙස දඩයමේ නිරතවන බවයි.

“මේ තල්මසුන් සැමන් දඩයමේ විශේෂඥයන්. උන් විශේෂඥතාව අතින් මෙන් ම දක්ෂතාව අතිනුත් ඉහළ විලෝපිකයන්. ඔවුන් ඩොල්ෆිනයන් නායකයන් මෙන් තබාගෙන උන් පසුපස පිහිනා යන ආකාරය එක්තරා අයුරකින් සහජ ඥානය ප්‍රශ්න කරනවා පමණක් නොව විස්මය දනවනසුලු ද වනවා.” අධ්‍යයනයේ ප්‍රධාන කර්තෘ වන ඩැල්හවුසි විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යාඥ සේරා ෆෝචූන් පවසනවා.

ඔර්කාවන් අසලින් ඩොල්ෆින් මසුන් නිතර ම දක්නට ලැබෙනවා. සැමන් මසුන් තමන්ටත් වඩා විශාලව වර්ධනය වන නිසා ඩොල්ෆිනයන් බොහෝ විට යැපෙන්⁣නේ හුරුල්ලන් මතයි.

​පර්යේෂණය සඳහා යොදාගත් වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ ‘මුරකරුවන්’ (scouts) ලෙස ක්‍රියා කරන බව පෙනෙන ඩොල්ෆින් මසුන්, අඩි තුනකට ආසන්න දිගකින් යුක්ත විය හැකි සැමන් මසුන් පසුපස හඹා යමින් පැසිෆික් සාගරයේ දිය දහරාවල බාධාවකින් තොරව ගමන් කරන ආකාරයයි. ඕකාවන් සමීප ව ඔවුන් පසුපසින් ගමන් කරනවා.

ඔර්කාවන් ගොදුර අල්ලා, එය වෙනත් ඕකාවන් සමඟ බෙදා ගැනීමට මතුපිටට ගෙනැවිත් කැබලිවලට කඩන විට, ඩොල්ෆින් මසුන් ඉන් විසිරී යන කොටස් අනුභව කරනවා.

සාමාන්‍යයෙන්, අලුතින් දඩයම් කළ ගොදුර ඉතා දැඩි ලෙස ආරක්ෂා කරන ඔර්කා තල්මසුන්, මෙම අනවසර ඇතුළුවීම ගැන කරදර නොවී සිටින බව පෙනීගොස් තිබුණා.

මෙම අන්තර්ක්‍රියාවෙන් විශේෂ දෙකට ම ලැබෙන ප්‍රතිලාභය කොතරම්ද යන්න තීරණය කිරීමට තවත් අධ්‍යයනයක් අවශ්‍ය බව කණ්ඩායම පවසනවා.

නිම්නා අමරසේකර

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications