‘එපික් ෆියුරි’ මෙහෙයුමට ආයුධ මදි ද?

ඉරානයට එරෙහි ව දියත් කර ඇති “ඔපරේෂන් එපික් ෆියුරි” (Operation Epic Fury) මෙහෙයුම හරහා ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරක හැකියාව සැලකිය යුතු ලෙස දුර්වල කිරීමට ඇමරිකානු සහ මිත්‍ර හමුදා සමත්ව ඇති බව වාර්තා පෙන්වා දෙනවා. මෙහෙයුමේ ආරම්භක දිනවලට සාපේක්ෂ ව ඉරානයේ බැලස්ටික් මිසයිල ප්‍රහාර 86% කින් ද, කමිකාසි හෙවත් ස්වයං නාශන ප්‍රහාරක ඩ්‍රෝන (one-way attack drones) ප්‍රහාර 73% කින් ද අඩු වී ඇති බව එක්සත් ජනපස මධ්‍යම අණසක (CENTCOM) තහවුරු කරනවා. ඉරානය මෙතෙක් බැලස්ටික් මිසයිල 500 කට අධික සංඛ්‍යාවක් සහ ඩ්‍රෝන යානා 2,000 කට අධික ප්‍රමාණයක් මුදා හැර ඇතත්, ඇමරිකානු ගුවන් ආධිපත්‍යය හමුවේ ඔවුන්ගේ විධාන සහ පාලන මධ්‍යස්ථාන මෙන් ම ප්‍රහාරක එල්ල කිරීමේ හැකියාව ද සැලකිය යුතු මට්ටමකින් අඩපණ වී තිබෙනවා. යුධෝපකරණ තොග පිළිබඳව යම් කනස්සල්ලක් පැවතිය ද, ඇමරිකානු බලධාරීන් පවසන්නේ දැනට පවතින තොග මෙහෙයුම සාර්ථක ව නිම කිරීමට ප්‍රමාණවත් බවයි. කලාපීය මිත්‍ර රටවල සහයෝගය ඇති ව ගුවන් ආරක්ෂණ ජාලය ශක්තිමත් ව පවතින බවත්, මෙහෙයුම දැන් ඉරාන භූමිය තුළට සෘජු හා නිරවද්‍ය ප්‍රහාර එල්ල කරන අදියරකට එළඹ තිබෙන බවත් ඔවුන් පවසනවා.

‘ඔපරේෂන් එපික් ෆියුරි’ මෙහෙයුමේ සිව්වන දිනය වන විට, ඇමරිකානු මධ්‍යම අණසක (CENTCOM) ඉරාන වෙරළ තීරයේ දකුණු පෙදෙසේ දේශීය ගුවන් ආධිපත්‍යය තහවුරු කරගන්නට සමත් ව තිබුණා. ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපති (chairman of the Joint Chiefs of Staff) ජෙනරාල් ඩෑන් කේන් ප්‍රකාශ කරන්නේ ඉරානයේ බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කිරීමේ වේගය ශීඝ්‍රයෙන් පහත වැටී ඇති බවයි. ඉරානය සතු ව තවමත් දහස් සංඛ්‍යාත මිසයිල සහ ඩ්‍රෝන තොග පවතින නමුත්, ඒවායේ විහිදුම් පද්ධති බොහොමයක් විනාශ කර ඇති හෝ ඒවා ක්‍රියාත්මක කිරීමට කාර්ය මණ්ඩලයට ඇති ප්‍රවේශය අහුරා ඇති බව ඇමරිකානු පාර්ශ්වයෙන් පෙන්වා දෙනවා. විශේෂයෙන් ම ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) විධාන සහ පාලන ව්‍යුහයන්ට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ඔවුන්ගේ සම්බන්ධීකරණ හැකියාව අඩපණ වී තිබෙනවා. මෙහෙයුමේ ආරම්භක අවධියේ දී දුරස්ථ ව සිට එල්ල කරන (stand-off) අවි භාවිතා කළ ද, දැන් ගුවන් ආධිපත්‍යය තහවුරු වී ඇති බැවින් ඉරාන භූමියට ඉහළින් සිට සෘජු ව එල්ල කරන නිරවද්‍ය ප්‍රහාර (stand-in precision strikes) වෙත ඇමරිකානු සහ ඊශ්‍රායල හමුදා යොමු වී තිබෙනවා.

එහෙත්, ඇමරිකානු යුධෝපකරණ තොග, විශේෂයෙන් ම ප්‍රහාරක ඩ්‍රෝනවලට එරෙහි ව භාවිතා කරන නාශක මිසයිල (interceptors) සම්බන්ධයෙන් විවිධ වාර්තා පළ වී තිබෙනවා. ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ප්‍රකාශ කරන්නේ GPS සහ ලේසර් මඟින් මෙහෙයවන නිරවද්‍ය ගුරුත්ව බෝම්බ (precision gravity bombs) “අසීමිත” තොගයකින් පවතින බවයි. එසේ වුවද, ඉරානයේ Shahed 136 ප්‍රහාරක ඩ්‍රෝන සියල්ල ම වළක්වා ගැනීමට ඇමරිකානු ගුවන් ආරක්ෂක පද්ධතිවලට නො හැකි විය හැකි බව රහසිගත සාකච්ඡාවල දී පිළිගෙන ඇති බව හෙළි ව තිබෙනවා. මෙම තත්ත්වය හමුවේ පෙන්ටගනය, ප්‍රධාන ආරක්ෂක කොන්ත්‍රාත්කරුවන් සමඟ සාකච්ඡා කර ආයුධ නිෂ්පාදනය වේගවත් කිරීමට සැලසුම් කරමින් සිටින බව ද වාර්තා වී තිබෙනවා. කෙසේ වෙතත්, යුක්රේනයට ලබා දුන් ආධාර සහ හූති කැරලිකරුවන්ට එරෙහි ව වැය කළ යුධෝපකරණ හේතුවෙන් තොගවල යම් අඩුවක් පෙනෙන්නට තිබුණ ද, පවතින මෙහෙයුම සාර්ථක කර ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි හැකියාවක් පවතින බව ධවල මන්දිරය අවධාරණය කරනවා.

මෙහෙයුම අතරතුර දී ඉරානයේ ඉතා සංවේදී ස්ථාන ඉලක්ක කර ඇති බව වාර්තා වනවා. ඉරානයේ ටෙහෙරාන් නුවරට ඊසාන දෙසින් පිහිටි මින්සාදෙහි හි රහසිගත න්‍යෂ්ටික අවි සංවර්ධන සංකීර්ණයක් බවට සැක කෙරෙන ස්ථානයකට ඊශ්‍රායලය විසින් ප්‍රහාර එල්ල කරනු ලැබ ඇති අතර, එමඟින් එම ස්ථානයට දැඩි හානි සිදු ව ඇති බව චන්ද්‍රිකා ඡායාරූප මගින් සනාථ වනවා. මීට අමතර ව, ටෙහෙරාන් අගනුවර පිහිටි IRGC මූලස්ථානය, බුද්ධි අංශ මූලස්ථානය සහ කුඩ්ස් බලකායේ මූලස්ථානය ඇතුළු ප්‍රධාන මිලිටරි මධ්‍යස්ථාන රැසකට විශාල ප්‍රහාර මාලාවක් එල්ල වුණා. නාවික ක්ෂේත්‍රයේ දී, ඉරානයේ දියුණු ම යුධ නෞකාවක් ලෙස සැලකෙන ෂහීඩ් සොලෙයිමානි පන්තියේ කැටමරන් නෞකාවක් ගිල්වා දැමීමට ඇමරිකානු හමුදා සමත් වුණා. තව ද, ඇමරිකානු ජනාධිපතිවරයා ඝාතනය කිරීමට උත්සාහ කළ බව පැවසෙන ඉරාන ඒකකයේ නායකයා ද ඝාතනයට ලක් වූ බව පීට් හෙග්සෙත් තහවුරු කළා.

මේ අතර ඉකුත් 4 දා ඉන්දියාවේ විශාකාපට්නම්හි පැවති MILAN 2026 යුද අභ්‍යාසයට සහභාගී වී ආපසු යමින් සිටි ඉරාන නාවික හමුදාවේ දක්ෂණ නාවික බලඝණයට අයත් IRIS Dena යුද නෞකාව ගාල්ලට කිලෝමීටර 40ක් දුරින් ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරමින් පැවතිය දී ඇමරිකානු ප්‍රහාරයකට ලක් ව ගිලී ගියා. ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් මාධ්‍ය හමුවක දී සඳහන් කළේ ඇමරිකානු වේග ප්‍රහාරක සබ්මැරීනයකින් එල්ල කළ Mark 48 අධිබර ටෝපිඩෝවකින් එය ගිල්වා දැමූ බවයි.

ජෝර්දානය, බහරේනය, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර් සහ කුවේට් යන රටවල් තමන්ගේ ම මිලිටරි හැකියාවන් භාවිතා කරමින් මෙම මෙහෙයුමේ දී ආරක්ෂක සහය ලබා දෙන බව වාර්තා වනවා. සෞදි අරාබිය සිය අල්-ඛර්ජ් ප්‍රදේශය අසලදී ඉරාන කෲස් මිසයිල දෙකක් සාර්ථක ව වළක්වා ගැනීමට සමත් වුණා. බ්‍රිතාන්‍යය සිය ඩ්‍රෝන මර්දන විශේෂඥයන් කලාපයට යොමු කර ඇති අතර, ඇමරිකානු B-2 ස්ටෙල්ත් බෝම්බ හෙලන යානා බ්‍රිතාන්‍ය ගුවන් කඳවුරුවල සිට අවශ්‍යතාව පරිදි ක්‍රියාත්මක වීමට නියමිතයි. කෙසේ වෙතත්, ස්පාඤ්ඤය සිය ගුවන් කඳවුරු ඉරානයට එරෙහි ප්‍රහාර සඳහා භාවිත කිරීමට අවසර දීම ප්‍රතික්ෂේප කර ඇති අතර, එය ඇමරිකාව සහ ස්පාඤ්ඤය අතර රාජ්‍යතාන්ත්‍රික ගැටලුවක් දක්වා දුරදිග ගොස් තිබෙනවා. මේ අතර, ඉරාන හිතවාදී සටන්කාමීන් NATO සංවිධානයට සහ යුරෝපීය රටවලට තර්ජනය කර ඇත්තේ ඔවුන් මෙම ගැටලුවට මැදිහත් වුවහොත් ඔවුන්ගේ අවශ්‍යතා ඉලක්ක කරන බව පවසමින්.

හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ජාත්‍යන්තර වෙළඳාමට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. Maersk සහ Hapag-Lloyd වැනි ප්‍රධාන නාවික සමාගම් කලාපයේ බොහෝ රටවල් සඳහා තම සේවාවන් තාවකාලික ව නතර කර තිබෙනවා. පර්සියානු ගල්ෆ් කලාපයේ වරායන් වෙත භාණ්ඩ ප්‍රවාහනය අඩාල වී ඇති අතර, රක්ෂණ ගාස්තු සහ මෙහෙයුම් පිරිවැය ඉහළ යනු ඇතැ යි අපේක්ෂා කෙරෙනවා. කටාර් රාජ්‍යය සිය ගෑස් ද්‍රවීකරණ කටයුතු සම්පූර්ණයෙන්ම නතර කර ඇති බව වාර්තා වන අතර, එය යථා තත්ත්වයට පත් කිරීමට මසක පමණ කාලයක් ගත වනු ඇති. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා වෙළඳ නාවික යාත්‍රාවලට ඇමරිකානු නාවික හමුදාවේ ආරක්ෂාව සැපයීම පිළිබඳව ධවල මන්දිරයේ අවධානය යොමු වී තිබෙනවා.

ඉදිරි සති දෙකක කාලය තුළ ඉරානය තුළ ඇති ඉලක්ක දහස් ගණනක් විනාශ කිරීමට ඊශ්‍රායල සහ ඇමරිකානු හමුදා සැලසුම් කරමින් සිටිනවා. ඉරාන පාලන තන්ත්‍රය ක්‍රමවත් ව දුර්වල කිරීම මෙහි මූලික අරමුණයි. පවතින ගුවන් ආධිපත්‍යය භාවිතා කරමින් ඉරානයේ අභ්‍යන්තරයට තවදුරටත් ප්‍රහාර එල්ල කරමින් ඔවුන්ගේ යුධමය හැකියාවන් සම්පූර්ණයෙන් ම අඩපණ කිරීම මෙහෙයුමේ ඉදිරි ඉලක්කය බව පෙනෙන්නට තිබෙනවා. ඉරානය සමඟ රහසිගත සාකච්ඡා පවතින බවට පැතිර යන කටකතා දෙපාර්ශ්වය ම ප්‍රතික්ෂේප කර ඇති අතර, මෙහෙයුම ‘සාර්ථකව සහ වේගවත්ව’ අවසන් කිරීම කෙරෙහි පමණක් අවධානය යොමු කර ඇති බව ඇමරිකානු බලධාරීන් අවධාරණය කරනවා.

The War Zone ඇසුරෙනි.

Related posts

මන්ද තල්මසුන්ගේ සන්නිවේදනය මිනිස් භාෂාවට බෙහෙවින් සමාන බව නවතම පර්යේෂණයකින් හෙළි වෙයි

ලොව පැරණිතම බූවල්ලා පිළිබඳ මතය වෙනස් වෙයි

සඳ වටා ගිය ගගනගාමීන් ගෙදර එන හැටි