Home Science News යටත් විජිතවලින් රැගෙන ගිය මානව ශේෂ 37,000කට වඩා එංගලන්තයේ

යටත් විජිතවලින් රැගෙන ගිය මානව ශේෂ 37,000කට වඩා එංගලන්තයේ

by Sathya

බ්‍රිතාන්‍යයේ කෞතුකාගාර සතු ව ලොව පුරා විවිධ රටවලින් රැගෙන ආ මානව ශේෂයන් විශාල ප්‍රමාණයක් පවතින බවත්, ඒවා බොහෝමයක් යටත් විජිත පාලන සමයේ දී අත්පත් කරගත් ඒවා බවත් හෙළිදරව් වී තිබෙනවා. The Guardian පුවත්පත සිදුකළ විමර්ශනයකට අනුව, බ්‍රිතාන්‍ය කෞතුකාගාර සතු ව සම්පූර්ණ අස්ථි පද්ධති, ඊජිප්තු මමී, හිස්කබල්, අස්ථි, දත් සහ හිසකෙස් ඇතුළු මානව ශේෂයන් 263,000 කට වඩා පවතින බව හෙළි වී තිබෙනවා. තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ ඉදිරිපත් කළ ඉල්ලීම්වලට ලැබුණු ප්‍රතිචාරවලට අනුව, මෙයින් අයිතම 37,000 කට වඩා බ්‍රිතාන්‍යයේ පැරණි යටත් විජිත ඇතුළු විදේශීය රටවලින් රැගෙන ආ ඒවා බව තහවුරු වී ඇති අතර, තවත් අයිතම 16,000 ක පමණ සම්භවය සහිත රටවල් පිළිබඳ නිශ්චිත තොරතුරු වාර්තා වී නැහැ.

මෙම විදේශීය මානව ශේෂයන් අතරින් වැඩි ම ප්‍රමාණයක්, එනම් 11,856 ක් අප්‍රිකාවෙන් ද, 9,550 ක් ආසියානු රටවලින් ද රැගෙන ආ ඒවා බව හඳුනාගෙන තිබෙනවා. මීට අමතර ව ඕෂනියා, උතුරු ඇමරිකාව සහ දකුණු ඇමරිකාව යන කලාපවලින් ද දහස් ගණනක ශේෂයන් බ්‍රිතාන්‍යය වෙත ගෙන ගොස් තිබෙනවා. ලන්ඩනයේ ස්වභාවික ඉතිහාස කෞතුකාගාරය සතු ව යුරෝපයෙන් පිටත රටවලින් ලබාගත් විශාලතම මානව ශේෂ එකතුව පවතින අතර, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය දෙවැනි ස්ථානයේ පසු වනවා. මෙම ආයතන බොහොමයක මානව ශේෂයන් ගබඩා කර ඇත්තේ ඉතා අගෞරවනීය අයුරින් කාඩ්බෝඩ් පෙට්ටිවල බවත්, සමහර අවස්ථාවල දී ඒවා කාගේ ශේෂයන් ද යන්න හෝ ඒවායේ මූලාරම්භය පිළිබඳව කිසිදු වාර්තාවක් නොමැති බවත් The Guardian වාර්තා කරනවා.

මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පුරාවිද්‍යාඥයන් පවසන්නේ මෙය යටත් විජිතවාදයෙන් උරුම වූ ලැජ්ජා සහගත දායාදයක් බවයි. ලෝඩ් පෝල් බෝටෙන්ග් මහතා පෙන්වා දෙන්නේ ඉපැරණි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අයත් ව තිබූ අන්‍ය දේශ ජනතාවගේ ආගමික සහ ආධ්‍යාත්මික හැඟීම් නො සලකා හරිමින් ඔවුන්ගේ ශරීර කොටස් මෙලෙස රඳවා තබා ගැනීම අදහාගත නො හැකි සහ අධ්‍යාත්මික ව අපහාසාත්මක ක්‍රියාවක් බවයි. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩෑන් හික්ස් පවසන පරිදි, මෙම ශේෂයන් බොහොමයක් සොහොන් බිම් සහ යුද පිටිවලින් බ්‍රිතාන්‍ය සටන්කාමීන් විසින් කොල්ලකන ලද ඒවා වන අතර, ඒවා එකල බ්‍රිතාන්‍යය වෙත රැගෙන එනු ලැබුවේ ජයග්‍රහණයේ සංකේත ලෙස හෝ වර්ගවාදී ව්‍යාජ විද්‍යාත්මක පරීක්ෂණ සඳහා යොදා ගැනීමටයි.

බ්‍රිතාන්‍ය රජය 2005 වසරේ දී ප්‍රකාශ කර තිබුණේ කෞතුකාගාරවල ඇති මානව ශේෂයන්ගෙන් බහුතරයක් බ්‍රිතාන්‍යයෙන් ම සොයාගත් ඒවා බව වුවත්, මෙම නව සොයාගැනීම් මඟින් එම ප්‍රකාශය අසත්‍ය බව සනාථ වී තිබෙනවා. මේ නිසා මෙම මානව ශේෂයන් පිළිබඳ ජාතික ලේඛනයක් සකස් කරන ලෙසත්, අදාළ ශේෂයන් හැකි සෑම අවස්ථාවක දී ම ඒවායේ මව් රටවල් සහ මුල් ප්‍රජාවන් වෙත නැවත භාරදීම සඳහා අනිවාර්ය මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දෙන ලෙසත් බලධාරීන්ගෙන් දැඩි ඉල්ලීම් ඉදිරිපත් ව තිබෙනවා. බ්‍රිතාන්‍යයේ කෞතුකාගාර සංගමය ද පවසන්නේ මෙම මානව ශේෂයන් සම්බන්ධයෙන් සදාචාරාත්මක ලෙස කටයුතු කිරීමට සහ ඒවා මුල් ප්‍රජාවන් වෙත නැවත ලබා දීමට සහාය වන නව නීති සම්පාදනයක් තමන් අගය කරන බවයි.

The Guardian ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications