Star Wars හි එන ‘ටැටූයින්’ (Tatooine) ග්‍රහලෝකය මෙන් සූර්යයන් දෙදෙනෙකු වටා කක්ෂගත ව පවතින බවට දැනට විශ්වාස කළ හැකි ග්‍රහලෝක 27ක් අලුතෙන් හඳුනාගන්නට තාරකා විද්‍යාඥයන් සමත් ව සිටිනවා. මෙම සොයාගැනීමත් සමඟ මෙතෙක් හඳුනාගෙන තිබූ මෙවැනි ග්‍රහලෝක සංඛ්‍යාව දෙගුණයකටත් වඩා වැඩි වී තිබෙනවා.
මීට පෙර විශ්වය පුරා මෙවැනි තරු දෙකක් වටා භ්‍රමණය වන ග්‍රහලෝක හඳුනාගෙන තිබුණේ 18ක් පමණයි. පෘථිවිය මෙන් තනි තරුවක් වටා භ්‍රමණය වන පිටසක්වළ ග්‍රහලෝක 6,000කට වඩා වැඩි ප්‍රමාණයක් සොයාගෙන ඇතත්, විශ්වයේ ඇති තරුවලින් අඩකට වඩා පවතින්නේ තරු දෙකක් හෝ කිහිපයක් සහිත පද්ධති ලෙසයි,. එබැවින් මෙම නව සොයාගැනීම විශ්වය පිළිබඳ අපගේ අවබෝධය පුළුල් කිරීමට මහත් පිටුවහලක් වනවා.
මේ සොයාගැනීමට අදාළ අධ්‍යයනය සිදුකර තිබුණේ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින්. ඔවුන් මේ සඳහා NASA ආයතනයේ Transiting Exoplanet Survey Satellite (TESS) මඟින් ලබාගත් දත්ත භාවිත කර තිබුණා. මෙම ග්‍රහලෝක පෘථිවියේ සිට ආලෝක වර්ෂ 650 සිට 18,000 දක්වා දුරින් පිහිටා ඇති බවයි තක්සේරු කර ඇත්තේ.
සාමාන්‍යයෙන් ග්‍රහලෝකයක් තරුවක් ඉදිරියෙන් ගමන් කරන විට ඇති වන සෙවනැල්ල මඟින් ඒවා හඳුනා ගන්නා මුත්, මෙම පර්යේෂකයන් විසින් apsidal precession නම් ක්‍රමවේදයක් භාවිතා කර තිබෙනවා,. එහි දී තරු දෙකක් එකිනෙකා වටා භ්‍රමණය වෙමින් ග්‍රහණය වන කාලයෙහි සිදුවන සුළු වෙනස්වීම් නිරීක්ෂණය කරමින්, එම පද්ධතියේ පවතින තුන්වන වස්තුව හඳුනා ගැනීමට ඔවුන් සමත් වී තිබෙනවා.
මෙම සොයාගත් වස්තූන් ප්‍රමාණයෙන් නෙප්චූන් ග්‍රහයාගේ ප්‍රමාණයේ සිට බ්‍රහස්පති මෙන් දස ගුණයක් විශාලත්වය දක්වා විහිදෙන බවයි පර්යේෂණයේ ප්‍රධාන කතෘ මාර්ගෝ තෝර්න්ටන් පවසන්නේ. මේවා නිල වශයෙන් ග්‍රහලෝක ලෙස තහවුරු කර ගැනීම සඳහා ඒවායේ ස්කන්ධය පිළිබඳ වැඩිදුර පර්යේෂණ අවශ්‍ය බව ඇය වැඩිදුරටත් සඳහන් කරනවා.
ස්වින්බර්න් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ තාරකා භෞතික විද්‍යාඥ ආචාර්ය සාරා වෙබ් පවසන්නේ, තරු දෙකක කක්ෂයන් අතර පිහිටන නිසි දුර ප්‍රමාණයක පවතින්නේ නම්, ස්ටාර් වෝර්ස්හි ටැටූයින් වැනි ජීවයට හිතකර ග්‍රහලෝක පවා මෙවැනි පද්ධති තුළ තිබිය හැකි බවයි. මෙම පර්යේෂණය රාජකීය තාරකා විද්‍යා සංගමයේ Monthly Notices of the Royal Astronomical Society ජර්නලයේ ප්‍රකාශයට පත් කර තිබෙනවා.