Science News රූබි සහ නිල් මැණික් වැසි වැටෙන බහිර් ග්‍රහලෝකය: WASP-121b SathyaJune 17, 202606 views ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් විශ්වයේ පවතින අතිශය ආන්තික කාලගුණික තත්ත්වයන් සහිත බාහිර ග්‍රහලෝකයක් පිළිබඳව නවතම තොරතුරු අනාවරණය කරගන්නට පර්යේෂකයන් සමත් ව සිටිනවා. WASP-121b ලෙස නම් කර ඇති මෙම ග්‍රහලෝකයේ යකඩ මෙන්ම රූබි (rubies) සහ නිල් මැණික් (sapphires) වර්ෂාවන් පවතින බව ඔවුන් සඳහන් කරනවා. WASP-121b යනු අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත පිහිටි “අතිශය උණුසුම් බ්‍රහස්පති” හෙවත් ultra-hot Jupiter ගණයට අයත් වන විශාල වායුමය ග්‍රහලෝකයක්. මෙය සිය මව් තරුවට ඉතා ආසන්නයෙන් කක්ෂගත වී ඇති බැවින්, එහි එක් වසරක් සම්පූර්ණ වීමට ගත වන්නේ පැය 30.5ක් වැනි ඉතා කෙටි කාලයක් පමණයි. මෙම ග්‍රහලෝකය සිය මව් තරුව සමග ගුරුත්වාකර්ෂණ බලයෙන් අගුලු වැටී ඇති බැවින් එහි එක් අර්ධයක් සෑම විටම තරුව දෙසටත් , අනෙක් අර්ධය අඳුරටත් මුහුණ ලා පවතිනවා. මෙම ග්‍රහලෝකයේ දිවා කාලය පවතින ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2,500ක් පමණ වන අතර, එය ලෝහ පවා වාෂ්ප කිරීමට තරම් ප්‍රමාණවත් උෂ්ණත්වයක් වනවා. අඳුර පවතින රාත්‍රී කාලය සහිත ප්‍රදේශය ඊට වඩා සෙල්සියස් අංශක 1,775කින් පමණ සිසිල් බව අනුමාන කෙරෙනවා. මෙම අතිශය අධික උෂ්ණත්ව වෙනස හේතුවෙන් ග්‍රහලෝකය මත පැයට සැතපුම් 11,000ක පමණ වේගයකින් යුත් අතිශය ප්‍රචණ්ඩකාරී සුළං ප්‍රවාහයන් හටගන්නවා. දිවා කාලයේ පවතින අධික උෂ්ණත්වය නිසා වාෂ්ප වන යකඩ සහ විවිධ ඛනිජ ද්‍රව්‍ය ඉහත කී දැඩි සුළං මගින් සිසිල් රාත්‍රී කලාපය වෙත රැගෙන යනු ලබන අතර, එම වාෂ්ප සිසිල් කලාපයේ දී ඝනීභවනය වීමෙන් යකඩ මෙන් ම රූබි සහ නිල් මැණික් නිර්මාණය කරන ‘කොරන්ඩම්’ වැනි ඛනිජ ද්‍රව්‍ය අඩංගු වලාකුළු නිර්මාණය වනවා. අනතුරුව ඒවා රාත්‍රී කාලය පවතින ප්‍රදේශයට ද්‍රව යකඩ සහ මැණික් වර්ෂාවක් ලෙස පතිත වන බවට විද්‍යාඥයන් විශ්වාස කරනවා. මෙම නවතම අධ්‍යයනයේ දී ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් මෙම ග්‍රහලෝකයේ ආලෝකය සහ අඳුර වෙන් වන කලාප අතර ඇති පැහැදිලි උෂ්ණත්ව වෙනස්කම් නිරීක්ෂණය කරීමට සමත් වුණා. දිවා කාලයේ සිට රාත්‍රිය දක්වා භ්‍රමණය වන ‘සවස කලාපය’, උදෑසන කලාපයට වඩා බෙහෙවින් උණුසුම් බව එහි දී සොයාගැනුණා. ජල අණු පවා බිඳ දැමීමට එම කලාපයේ උෂ්ණත්වය සමත් වී ඇති අතර, කාබන් මොනොක්සයිඩ් වැනි වායුන්ගේ වෙනස්කම් ද වායුගෝලය පුරා නිරීක්ෂණය වී තිබෙනවා. මෙම අපූරු සොයාගැනීම හරහා සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත පවතින ග්‍රහලෝකවල වායුගෝලීය සහ කාලගුණික ස්වභාවයන් පිළිබඳව තවදුරටත් පුළුල් අවබෝධයක් ලබාගැනීමට තාරකා විද්‍යාඥයින්ට හැකි වී තිබෙනවා.