Home Science News තස්මේනියාවේ ඉදිවෙන ලෝකයේ කළු පෙට්ටිය

තස්මේනියාවේ ඉදිවෙන ලෝකයේ කළු පෙට්ටිය

by Sathya

ඕස්ට්‍රේලියාවට ආසන්නව පවතින තස්මේනියා දූපතේ ඉදිකිරීමට යෝජිත ව තිබූ, පෘථිවියේ දේශගුණික විපර්යාස පිළිබඳ තොරතුරු අනාගත පරපුර උදෙසා ගබඩා කරන ‘පෘථිවියේ කළු පෙට්ටිය’ (Earth’s Black Box) ව්‍යාපෘතිය යළිත් ආරම්භ කර තිබෙනවා. මීට වසර පහකට පෙර මහත් ආන්දෝලනයක් ඇති කරමින් ප්‍රකාශයට පත් කළ මෙම ව්‍යාපෘතියේ කටයුතු කලක් නිහඬ ව පැවතීමෙන් පසු, මේ වසරේ දෙසැම්බර් මාසය වන විට තස්මේනියාවේ බටහිර දෙසින් පිහිටි ක්වීන්ස්ටවුන් ගුවන් පථය අසල මෙම යෝධ ව්‍යුහය ස්ථාපනය කිරීමට නියමිත බව එහි නිර්මාණකරුවෝ පවසනවා.

ගුවන් යානයක අනතුරකට පෙර සිදුවූ දෑ සටහන් වන කළු පෙට්ටියක් මෙන්, මානව වර්ගයා දේශගුණික ව්‍යසනයක් කරා ගමන් කරන ආකාරය පටිගත කිරීම මෙමඟින් සිදු කෙරෙනවා. මෙහි අරමුණ වන්නේ යම් හෙයකින් දේශගුණික අර්බුදය හේතුවෙන් මානව ශිෂ්ටාචාරය විනාශ වුවහොත්, ඉන් පසු බිහිවන පරපුරකට හෝ වෙනත් ජීවී කොට්ඨාසයකට අපට වැරදුණේ කොතැන දැ යි අවබෝධ කර ගැනීමට හැකි වන පරිදි දත්ත ගබඩා කර තැබීමයි.

Rouser Lab, තස්මේනියා විශ්වවිද්‍යාලය සහ තවත් පර්යේෂකයන් මෙන් ම කලාකරුවන් පිරිසකගේ එකමුතුවෙන් නිර්මාණය වන මෙය, මීටර් 16ක් දිග සහ මීටර් 4ක් උසැති අතිශය ශක්තිමත් වානේවලින් නිමවන ලද ව්‍යුහයක්. එයට අවශ්‍ය බලශක්තිය ලබා ගැනීම සඳහා සූර්ය කෝෂ සවිකර ඇති අතර, අන්තර්ජාලයට සම්බන්ධ වී ස්වයංක්‍රීයව දත්ත රැස් කිරීම ද ඉන් සිදුකෙරෙනවා.

මෙහි දී කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය, ගෝලීය උෂ්ණත්වය, සාගර ආම්ලිකකරණය, සතුන් වඳ වී යාම, භූමි පරිභෝජනය, ජනගහන වර්ධනය මෙන්ම දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ලෝක නායකයන් ගන්නා තීරණ, මාධ්‍ය වාර්තා සහ සමාජ මාධ්‍ය සටහන් ද ගබඩා කරගනිමින් සංරක්ෂණය කෙරෙනවා.

භූ විද්‍යාත්මක ව සහ භූ දේශපාලනික ව ඉතා සුරක්ෂිත මෙන් ම ස්ථාවර කලාපයක් වීම හේතුවෙන් තස්මේනියාවේ බටහිර වෙරළ තීරය මෙම ව්‍යාපෘතිය සඳහා තෝරාගෙන තිබෙනවා. මේ හරහා මෙම ව්‍යුහය ස්වභාවික විපත්වලින් ද ආරක්ෂා වනු ඇති බවට එහි නිර්මාපකයන් විශ්වාස කරනවා.

“මේ කතාව අවසන් වන්නේ කෙසේ ද යන්න සම්පූර්ණයෙන් ම රඳා පවතින්නේ අප මතයි. නමුත් එක දෙයක් සහතිකයි, ඔබ ගන්නා ක්‍රියාමාර්ග සහ නොගන්නා ක්‍රියාමාර්ග සියල්ල දැන් පටිගත වෙමින් පවතිනවා” යැ යි ව්‍යාපෘතියේ නිර්මාණකරුවන් සඳහන් කරනවා.

මෙම කලු පෙට්ටිය මානවයාගේ අවසන් සාක්ෂිය බවට පත් වේ ද, එසේත් නැතිනම් කිසි දා සිදු නො වූ විනාශයක ස්මාරකයක් ලෙස පවතී ද යන්න තීරණය කිරීමේ වගකීම ඇත්තේ සමස්ත ලෝකවාසීන් අතයි.

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications