Home Science News ඉන්දියාව පෞද්ගලික අංශයේ කක්ෂීය රොකට්ටුවක් සාර්ථකව අත්හදා බැලූ ලොව තෙවැනි රට බවට පත්වෙයි

ඉන්දියාව පෞද්ගලික අංශයේ කක්ෂීය රොකට්ටුවක් සාර්ථකව අත්හදා බැලූ ලොව තෙවැනි රට බවට පත්වෙයි

by Sathya

ඉන්දියාවේ අභ්‍යවකාශ ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින්, Skyroot Aerospace නම් ඉන්දියානු සමාගම විසින් සිය පළමු පෞද්ගලික කක්ෂීය රොකට්ටුව වන Vikram-1 පසුගිය දා සාර්ථකව අභ්‍යවකාශගත කෙරුණා. 2026 ජූලි 18 වන දින අලුයම ඉන්දියාවේ ශ්‍රීහරිකෝටා හි පිහිටි සතිෂ් ධවාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් මෙම දියත් කිරීම සිදු වූ අතර, ඒ සමඟම ඇමරිකා එක්සත් ජනපදය සහ චීනයට පසු පෞද්ගලික අංශයේ කක්ෂීය දියත් කිරීමේ හැකියාව ඇති ලොව තුන්වන රට බවට ද ඉන්දියාව පත් වුණා.

සංස්කෘත භාෂාවෙන් “පැමිණීම” යන අරුත දෙන “Aagaman” ලෙස නම් කර තිබූ මෙම පරීක්ෂණ චාරිකාවේ ප්‍රධාන අරමුණ වූයේ, පෘථිවි පහළ කක්ෂය (Low Earth Orbit) වෙත රොකට්ටුව සාර්ථක ව ගමන් කරන ආකාරය සහ එහි පද්ධතිවල ක්‍රියාකාරිත්වය පරීක්ෂා කිරීමයි. හයිද්‍රාබාද් පදනම් කරගෙන 2018 වසරේ දී ආරම්භ කරන ලද Skyroot Aerospace සමාගමේ මෙම වික්‍රම්-1 රොකට්ටුව, අදියර හතරකින් යුත් මහල් හතක උසකින් යුතු කුඩා චන්ද්‍රිකා වාහකයක් වන අතර, එයට කිලෝග්‍රෑම් 350ක බරක් රැගෙන යාමේ හැකියාව පවතිනවා. මීට පෙර ද මෙම සමාගම සිය වික්‍රම්-S නම් උප-කක්ෂීය රොකට්ටුව සාර්ථක ව අභ්‍යවකාශයට යවමින් ඉන්දීය පෞද්ගලික අභ්‍යවකාශ අංශයේ ප්‍රථමයා බවට පත් වුණා.

මෙම ගමනේ දී රොකට්ටුවේ පරීක්ෂණ දත්ත ලබාගන්නා Skyroot හි SCOPE චන්ද්‍රිකාවට අමතර ව තවත් විශේෂ වාණිජමය අභ්‍යවකාශ උපාංග කිහිපයක් කිලෝමීටර් 450ක් ඉහළ කක්ෂයට නිකුත් කෙරුණා. ඒ අතරට ජර්මනියේ DCUBED සමාගමේ නව තාක්ෂණික නිරූපණ උපකරණයක්, ඉන්දියානු Grahaa Space සමාගමේ Solaras S3 නැනෝ චන්ද්‍රිකාව සහ අභ්‍යවකාශ සුන්බුන් එකතු කිරීම සඳහා Cosmoserve Space සමාගම නිපදවූ Embrace නම් රොබෝ අතක් ද ඇතුළත් වුණා. මීට අමතර ව කලාකරු අජේ කුමාර් මැටෙවාඩා නිර්මාණය කළ කැරට් 18 රන් රොකට්ටුවක අනුරුවක් සහ Cosmos Diamonds නම් ආයතනය විසින් නිර්මාණය කරන ලද “Cosmic Bloom” නම් ආභරණයක් ද සංකේතාත්මක උපාංග ලෙස අභ්‍යවකාශයට ගෙන යනු ලැබුණා.

Skyroot සමාගමේ සම-නිර්මාතෘවරුන් වන පවන් කුමාර් චන්දනා සහ නාග භරත් දාකා පෙන්වා දෙන්නේ වර්තමානයේ කුඩා චන්ද්‍රිකා අභ්‍යවකාශගත කිරීමේ වෙළඳපොළ තුළ විශාල ඉල්ලුමක් පවතින බවයි. රොකට්ටුව ගුවන්ගත වී විනාඩි 17ක් වැනි කෙටි කාලයක් තුළ දී එහි සියලු ම අරමුණු සාර්ථක ව සම්පූර්ණ කිරීමට සමත් වුණා. ඉන්දීය අභ්‍යවකාශ සංවිධානයේ (ISRO) අධ්‍යක්ෂ ජනරාල් (විශ්‍රාමික) ලුතිනන් ජෙනරාල් ඒ.කේ. භාට් පවසන පරිදි, මෙය ඉන්දියානු අභ්‍යවකාශ ගමනේ තීරණාත්මක සන්ධිස්ථානයක් වන අතර, දේශීය කර්මාන්තයට සම්පූර්ණ අභ්‍යවකාශ මෙහෙයුම් හැසිරවීමට ඇති හැකියාව ද මනාව ප්‍රකට කරනවා.

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications