චීනයෙන් හමුවූ පියාපත් සහිත ඩයිනසෝරයා පක්ෂි පරිණාමය පිළිබඳ මතවාදයන් අභියෝගයට ලක් කරයි

චීනයේ ඊසානදිග ප්‍රදේශයෙන් අලුතින් සොයාගන්නා ලද පිහාටු සහ පියාපත් සහිත ඩයිනසෝර ෆොසිලයක්, පක්ෂීන්ගේ සහ ඩයිනසෝරයන්ගේ පරිණාමය පිළිබඳව මෙතෙක් පැවති විද්‍යාත්මක මතවාදයන් අභියෝගයට ලක් කර තිබෙනවා. මෙම නවතම සොයාගැනීම පිළිබඳ පර්යේෂණ වාර්තාව ‘Nature Communications’ විද්‍යාත්මක සඟරාවේ පසුගිය දා ප්‍රකාශයට පත් ව තිබුණා.

සුවිශේෂ ලෙස සංරක්ෂණය වී තිබූ මෙම ෆොසිලය ‘මයික්‍රොරැප්ටෝරීන්’ (Microraptorine) නමැති ඩයිනසෝර කාණ්ඩයට අයත් වනවා. පර්යේෂකයන් විසින් සිදු කරන ලද ගැඹුරු විශ්ලේෂණවලට අනුව, මෙම ඩයිනසෝර පරිණාමයේ දී දක්නට ලැබෙන ව්‍යුහ විද්‍යාත්මක වෙනස්කම්වලින් 30% ක් පමණ මුල් කාලීන පක්ෂීන් තුළ ද දක්නට ලැබී ඇති බව තහවුරු වී තිබෙනවා.

නමුත් මෙහි ඇති වඩාත් පුදුම සහගත සොයාගැනීම වන්නේ, පක්ෂීන් සහ මෙම ඩයිනසෝරයන් අතර පවතින එම පොදු ලක්ෂණ මතු වී ඇත්තේ එකිනෙකට වෙනස් අනුපිළිවෙළකට බව අනාවරණය වීමයි. ඒ අනුව පියාසර කිරීමට අදාළ කායික ව්‍යුහයන්, පක්ෂීන් සහ පිහාටු සහිත ඩයිනසෝරයන් තුළ එක ම අයුරකින් වර්ධනය වී නොමැති අතර, ඔවුන් එකිනෙකට වෙනස් පරිණාමීය මාර්ග ඔස්සේ එම ලක්ෂණ ලබාගෙන ඇති බව විද්‍යාඥයන් පෙන්වා දෙනවා.

මෙම අපූර්ව සොයාගැනීමත් සමඟ, පක්ෂීන් සහ ඩයිනසෝරයන්ගේ සම්භවය මෙන්ම ඔවුන්ගේ පියාසර කිරීමේ හැකියාව පරිණාමය වූ ආකාරය පිළිබඳව නව කෝණයකින් බැලීමට විද්‍යාඥයින්ට සිදු ව තිබෙනවා. කෙසේ වෙතත්, පරිණාමීය ක්‍රියාවලිය තුළ මෙම රටාව කොතරම් දුරට ව්‍යාප්ත වී පැවතියේ ද යන්න තවදුරටත් පරීක්ෂා කිරීම සඳහා ඉදිරියේ දී තවත් ෆොසිල සාක්ෂි විශ්ලේෂණය කළ යුතු ව ඇති බව පර්යේෂකයන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

 

Related posts

Starliner යානය යළි නියමු මෙහෙයුම් සිදුකරනු ඇත්තේ 2028 දී බව NASA කියයි

එක්සත් රාජධානියේ අපරාධ පරීක්ෂණ සඳහා සුනඛ DNA දත්ත ගබඩාවක්

ඇමරිකාවේ ශ්‍රී ලාංකික පර්යේෂකයන් දෙදෙනෙක් ප්ලාස්ටික්වලින් බිස්කට් තනති