Home Science News NASA ගගනගාමීන් සඳහා අයදුම්පත් කැඳවයි

NASA ගගනගාමීන් සඳහා අයදුම්පත් කැඳවයි

by Sathya

NASA ආයතනය විසින් සඳ මත ජීවත් වෙමින් පර්යේෂණ කටයුතුවල නිරත විය හැකි මීළඟ පරම්පරාවේ අභ්‍යවකාශගාමීන් තේරීම සඳහා නව අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා. Artemis වැඩසටහනේ ඉදිරි පියවරක් ලෙස සිදු කෙරෙන මෙම වැඩසටහන මඟින් සඳ මත ස්ථිර පදනමක් ගොඩනැගීමට මෙන් ම අනාගතයේ දී අඟහරු වෙත සිදු කිරීමට නියමිත පළමු නියමු අභ්‍යවකාශ සංචාරයන් සඳහා අවශ්‍ය පදනම දැමීමට NASA ආයතනය බලාපොරොත්තු වනවා.

කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දී පැවැති ගුවන් හා තාක්ෂණික ප්‍රදර්ශනයක දී මේ පිළිබඳව පසුගිය දා නිල වශයෙන් නිවේදනය කර ඇති අතර, තේරී පත්වන නවකයන් හට සඳ මත ඇවිදීමට මෙන් ම එහි ඉදිකරන පර්යේෂණ මධ්‍යස්ථානය පදනම් කරගනිමින් අනාගත අභ්‍යවකාශ ගවේෂණ මෙහෙයුම් වෙනුවෙන් සක්‍රීය ව දායක වීමට අවස්ථාව හිමිවනු ඇති. මෙම අභියෝගාත්මක කාර්යය සඳහා වන අයදුම්පත් එළඹෙන 2026 දෙසැම්බර් 3 වන දින මධ්‍යම රාත්‍රී 11.59 දක්වා භාරදීමේ හැකියාව ලබා දී තිබෙනවා.

අයදුම්කරුවන් අනිවාර්යයෙන් ම ඇමෙරිකානු පුරවැසියන් විය යුතු අතර, විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව හෝ ගණිතය (STEM) යන ක්ෂේත්‍රයක පශ්චාත් උපාධියක්, වෛද්‍ය සුදුසුකම්, නියමු පුහුණුව හෝ අදාළ ආචාර්ය උපාධි පාඨමාලාවක දෙවසරක පළපුරුද්දක් පවත්වා ගැනීම අනිවාර්ය වනවා. ඊට අමතර ව අදාළ වෘත්තීය ක්ෂේත්‍රයේ වසර තුනක අවම පළපුරුද්දක් තිබිය යුතු අතර, ගුවන් නියමුවන් සඳහා වෙන ම නියමිත පියාසැරි පැය ගණනක අත්දැකීම් ද සම්පූර්ණ කර තිබිය යුතුයි.

මෙලෙස කැඳවනු ලබන අයදුම්පත් අතරින් අවසන් තේරීම් 2027 වසරේ අගභාගයේ දී සිදු කිරීමට NASA ආයතනය සැලසුම් කර තිබෙනවා. NASA ආයතනය අවසන් වරට අභ්‍යවකාශගාමීන් සඳහා අයදුම්පත් කැඳවූයේ 2024 වසරේ දී වන අතර, එහි දී අයදුම්කරුවන් 8,000කට වැඩි පිරිසක් අතුරින් තේරී පත්වුණු 10 දෙනෙකු 2025 සැප්තැම්බර් මාසයේදී සිය පුහුණුවීම් ආරම්භ කළා. මෙවර තේරී පත්වන නවක පිරිස 2028 වසරේ දී සැලසුම් කර ඇති සඳ තරණය ඇතුළු ඉදිරි අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා සෘජු ව ම දායක වනු ඇති බව වාර්තා වනවා.

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications