ඇතැම් පුරාණ වාර්ෂික උත්සවවල දී ස්ථානීය ආලෝකය ලබාගැනීමේ ක්‍රමයක් ලෙස කකුළුවන්ගේ පිට කටුව මත ඉටිපන්දම් හෝ එවැනි ආලෝක පුංජ ඇලවීම් ගැන වාර්තා වනවා. මේ කියන්නට යන්නේ එලෙස කකුළු කටුව මත බාහිර ව ශක්ති (ආලෝක) ප්‍රභවයන් තැබීමක් ගැන නො වෙයි. කකුළු කටුව ඍජු ලෙස ම ශක්ති ප්‍රභවයක් ලෙස යොදාගත හැකි අවස්ථාවක් ගැනයි. ජෛව හායක බැටරි නිපදවීමේ දී තිරසාර ක්‍රමවේදයක් ලෙස කකුළු කටුව (shell) භාවිත කළ හැකි බව නවතම අධ්‍යයනයක් පෙන්වා දෙනවා. මේ අධ්‍යයනය ගැන තොරතුරු පළ වන්නේ Matter ජර්නලයේ නවතම (සැප්තැම්බර් 10) කලාපයේයි. මේ අධ්‍යයනය මෙහෙයවා ඇත්තේ අමෙරිකාවේ මේරිලන්ත විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය Liangbing Hu.
Hu ඉතා දිගු කලක් තිස්සේ පරිසර හිතකාමී, ජෛව හායනයට ලක් කළ හැකි බැටරි නිපදවීමට අදාළ අධ්‍යයනයවල නියැළී සිටියා. දැනට බැටරි මඟින් විශාල පරිසර හානියක් සිදු වන බවයි Hu පවසන්නේ. එසේ ම තිරසාර යැ යි හඳුන්වන හා තිරසාර බැටරි ලෙස වෙළෙඳපොළේ පවතින බැටරි බොහොමයක් තිරසාර නො වන බවත් ඔහු පෙන්වා දෙනවා. කකුළු කටුව ඔහු යොදා ගත්තේ බැටරියේ විද්‍යුත් විච්ඡේදකය (electrolyte) ලෙසටයි. මෙය සින්ක් බැටරියක් සඳහා යොදා ගත හැකි බව ඔහු තම අධ්‍යයනය මඟින් තහවුරු කරනවා. මේ නව බැටරියේ විද්‍යුත් විච්ඡේදකය හැදීමට කකුළු කටුවේ පවතින කයිටීන් (Chitin) යොදා ගැනෙනවා. කයිටින් කයිටොසාන් නමැති ප්‍රභේදය ලෙසත් කකුළු කටුවේ පවතිනවා. සැබැවින් ම බැටරියේ භාවිත වන්නේ කයිටොසාන් ජෙලයක් (gel). මේ ජෙලය ඉතා කෙටි කලක දී ක්‍ෂුද්‍ර ජීවීන් විසින් බිඳ දමනු ලබන බව පර්යේෂකයන් පෙන්වා දී තිබෙනවා.
මෙය පරිසර හිතකාමී නිමැවුමක් සේ ම ඉවත දමන කකුළු කටු ආර්ථික ව ප්‍රයෝජනයට ගත හැකි ක්‍රමවේදයක් ද වනවා.
MR