Home Science News අමෙරිකාවේ මහා ලවණ විල විනාශයේ දොරකඩට පිවිසෙයි.

අමෙරිකාවේ මහා ලවණ විල විනාශයේ දොරකඩට පිවිසෙයි.

by cmadurawala

“අමෙරිකාවේ මළ මුහුද” ලෙසින් හඳුන්වන Great Salt Lake නමැති මහා ලවණ විලෙහි පරිසර පද්ධතිය ඊළඟ වසර කිහිපය තුළ දී විනාශ වී යා හැකි බව අනාවරණය කරගෙන තිබෙනවා.

පසුගිය ඔක්තෝබර් 9 වෙනි දින කොලරාඩෝ ප්‍රාන්තයේ ඩෙන්වර් නුවර දී ඇරඹුණු ඇමරිකානු භූ විද්‍යා සංගමයේ වාර්ෂික සමුළුවේ දී හෙළිදරව් වූයේ එහි ලවණතාවය අතිශයින් ඉහළ ගොස් ඇති බවයි.

අමෙරිකා එක්සත් ජනපදයට අයත් උටා ප්‍රාන්තයේ උතුරු පෙදෙසේ පිහිටි මෙම ලවණ විලේ පසුගිය සියවසේ අසූව දශකය තුළ පැවති වර්ග කිලෝමීටර් 8,500ක ප්‍රමාණය මේ වන විට වර්ග කිලෝමීටර් 2,460ක් පමණ දක්වා අඩු වී තිබෙනවා.

මෙම මහා විලට ගංගා මගින් ගෙනෙන ජලයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මිනිස් අවශ්‍යතා සඳහා මග දී ම හරවා ගැනෙනවා.

2017 වසරේ අධ්‍යයනයකට අනුව පානීය ජලය හා කෘෂිකර්මය වෙනුවෙන් එසේ යොදාගත් ජල ධාරිතාව වාර්ෂිකව ලීටර් ට්‍රිලියන 3.3ක් වෙනවා.

මේ 2022 වසරේ දී පර්යේෂකයන් විසින් විලේ සමහර තැන්වල ලවණතාවය 26% ක් තරම් අධික බව සොයාගෙන තිබෙනවා.

සාමන්‍යයෙන් එහි තිබෙන 15% ක ලවණතාවයට වඩා එය බෙහෙවින් ඉහළ අගයක්.

එහි වෙසෙන ලවණකාමී ආන්තික ක්ෂුද්‍ර ජීවීන් බොහොමයක් විනාශයට පත්වීමේ අනතුරට මුහුණ පා තිබෙනවා.

ලවණතාවය 25% ක් දක්වා වැඩි වීමෙන් ප්‍රභාසංශ්ලේෂක ක්ෂුද්‍ර ජීවීන් විශාල ලෙසින් විනාශ වීම නිසා චන්ද්‍රිකා ඡායාරූපවලට පවා පෙනෙන රෝස පැහැයක් විල මතුපිට හටගෙන තිබෙනවා.

මෙම ක්ෂුද්‍ර ජීවීන් පරිසර පද්ධතියේ නිෂ්පාදකයින් වන නිසා ම ඔවුන් නිපදවන ආහාර මත යැපෙන කූණිස්සන් සහ කරදිය මැස්සන් මෙන් ම ඔවුන්ව ගොදුරු කරගන්නා මුහුදු පක්ෂීන්ගේ ද පැවැත්ම සඳහා අභියෝගයක් මතුව තිබෙනවා.

Science Alert සහ Science ඇසුරෙනි.

ප්‍රේමශාන්ත කුමාරසිරි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications