ලොව විශාලතම යමහල වන හවායි හි පිහිටි Mauna Loa යමහල විදාරණය වන්නට පටන්ගෙන තිබෙනවා. පසුගිය ඉරිදා දිනයේ හටගත් තරමක් ප්‍රභල භූ කම්පන මාලාවකට පසුව එය සක්‍රීය වන්නට ගත් බවයි හවායියන් යමහල් නිරීක්ෂණාගාරයේ (Hawaiian Volcano Observatory) විද්‍යාඥයන් සඳහන් කරන්නේ. මේ යමහල අවසන් වතාවට විදාරණය වූයේ වසර 38කට පෙර 1984 වසරේ අප්‍රේල් මාසයේ දී යී. එය ලොව විශාලත ම සක්‍රීය යමහල වනවා සේ ම වැඩි ම සක්‍රීය බවක් පෙන්නුම් කෙරෙන යමහල් අතර ද ඉදිරියෙන් ම පසු වනවා. 1843 සිට මේ දක්වා එය 33 වතාවක් විදාරණය වී ඇති බවයි භූ විද්‍යාඥ වාර්තා සඳහන් කරන්නේ.
හවායියන් දූපත් අතරින් විශාල ම දූපත වන බිග් දූපතේ (Big Island) පිහිටන මෙය විදාරණය වීමේ පූර්ව අවදානමක් ඇති බව බලධාරීන් විසින් අනතුරු අඟවනු ලැබුවේ සති ගණනාවකට පෙරයි. ඔවුන් සඳහන් කළේ මෙයින් නැඟෙන දුමාරය නිසා වාතාශ්රයේ ගුණාත්මක බව වී ශ්වසනාබාධවලින් පෙළෙන රෝගීන් වෙත යම් අවදානමක් එල්ල විය හැකි බවයි. දුමාරය එසේ අවදානම් තත්ත්වයක් උද්ගත වුවහොත් බාහිර ක්‍රියාකාරකම් නවත්වා, ජනෙල් දොර පියන් වසා නිවසට වී සිටින ලෙස ද ජනතාව දැනුවත් කර තිබෙනවා.
කෙසේ නමුත් ඒ හැර වෙනත් බරපතළ ආකාරයේ ජීවිත හෝ දේපළ හානි සිදු වේ යැයි ඔවුන් බලාපොරොත්තු වන්නේ නැහැ. ලාවා ගලා එනු ඇතැයි සැක පවතින Daniel K. Inouye අධිවේගී මාර්ගය අවශ්‍යතාවක් ඇති වුවහොත් වසා දැමීමට ද පියවර ගෙන තිබෙනවා. මෙම ලාවා දහර 1000°C උෂ්ණත්වයකින් යුතු වනු ඇති බවයි සඳහන් වන්නේ.
හාවායියන් වහරින් Mauna Loa යන්නෙන් අදහස් වන්නේ ‘දිගු කන්ද’ යන්නයි. එය හවායි හි බිග් දූපතේ ඇති යමහල් පහකින් යුතු දාමයක එකක් පමණයි. වර්ග කිලෝමීටර 5271 පුරා පැතිරී ඇති මෙය මුළු දූපතෙන් ම අඩක වපසරියක් වසාගෙන සිටිනවා. Mauna Loa හි මුදුන පිහිටා ඇත්තේ මුහුදු මට්ටමින් මීටර 4170ක් ඉහළිනුයි. නමුත් එහි පත්ල මුහුදු මට්ටමින් ගැඹුරට විහිදී පවතින නිසා එහි සත්‍ය උස මීටර් 9170ක් පමණ වනවා. එසේ බැලූ විට එය එවරස්ට් කන්දටත් වඩා උසින් වැඩියි.
BBC පුවත් සහ NBC පුවත් ඇසුරිනි.
සත්‍ය හෙට්ටිආරච්චි