NASA ආයතනයට අයත් කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් සොයාගෙන තිබූ පිටසක්වළ ග්‍රහලෝක දෙකක ජලය බෙහෙවින් තිබිය හැකි බව නවතම පර්යේෂණයකින් සොයාගෙන තිබෙනවා.
Kepler – 138c සහ Kepler – 138d යන මේ ග්‍රහලෝක යුගල වීණාව (Lyra) තාරකා මණ්ඩලය තුළ ආලෝක වර්ෂ 218ක් ඈතින් පිහිටි Kepler – 138 නම් රතු වාමන තාරකාව වටා පරිභ්‍රමණය වෙනවා.
දෙසැම්බර් 15 වැනි දින Nature Astronomy ජර්නලයේ මේ පිළිබඳව පළ කර තිබෙන පර්යේෂණ වාර්තාවට අනුව 2014 වසරේ දී කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් ලබාගෙන ඇති දත්තවලින් කුතුහලයට පත් විද්‍යාඥයින් එම ග්‍රහලෝක යුගල තැනී ඇත්තේ කවරකින් ද යන්න සෙවීමට හබල් අභ්‍යවකාශ දුරේක්ෂය සහ ස්පිට්සර් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ද නැවත නිරීක්ෂණය කර තිබෙනවා.
පුදුමයකට මෙන් ඔවුනට ලැබුණු පිළිතුර වූයේ ඒවා අධික ලෙස ජලයෙන් පිරී ඇත යන්නයි.
“පෘථිවිය මෙන් එකහමාරක් තරම් විශාල මේ ග්‍රහලෝක පිළිබඳ ව අපි මුලින් හිතුවේ ඒවා ලෝහ සහ පාෂාණ වලින් සෑදී ඇති බවයි. ඒක නිසයි අපි ඒවා සුපිරි පෘථිවියන් ලෙස හැඳින්වූයේ.” මේ පර්යේෂණ වාර්තාවේ සහාය කතුවරයෙකු වන කැනඩාවේ මොන්ට්‍රියල් සරසවියේ ග්‍රහතාරකා භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය Bjorn Benneke පවසනවා.
“කොහොම නමුත් දැන් අපට මේ Kepler – 138c සහ Kepler – 138d යන ග්‍රහලෝක දෙකේ ස්වභාවය වෙනස් බවයි පෙනී තිබෙන්නේ. ඒවායේ මුළු පරිමාවෙන් විශාල කොටසක ජලය තිබිය හැකි බව පෙනෙනවා. මෙසේ දියෙන් පිරුණු ලෝක ලෙස ග්‍රහලෝක නිරීක්ෂණය කළ පළමු අවස්ථාව මේකයි.” ඔහු තවදුරටත් සඳහන් කරනවා.
කෙසේ නමුත් මේ පිටසක්වළ ග්‍රහලෝක යුගලේ සැබවින් ම ඇත්තේ ජලය ම ද යන්න පිළිබඳ ව විද්‍යාඥයින්ට තවමත් ස්ථිර නැහැ.
ඔවුන් කෙළින් ම ජලය හඳුනාගෙන නැහැ.
නමුත් ඔවුනට මේ එක් එක් ග්‍රහලොවේ ඝනත්වය ගණනය කිරීමට හැකි වී තිබෙනවා. ඒ එක එකක පරිමාව පෘථිවියේ පරිමාව මෙන් තුන් ගුණයක් පමණ වුණත් ඒවායේ ස්කන්ධය පෘථිවියේ ස්කන්ධය මෙන් දෙගුණයක් පමණයි. ඒ අනුව ඒවායේ ඝනත්වය අපේ ලොවේ ඝනත්වයට වඩා බෙහෙවින් අඩු වෙනවා.
මෙම අඩු ඝනත්වය හේතුවෙන් ඒවා වායුමය යෝධයන් මෙන් හයිඩ්‍රජන් සහ හීලියම් වලට වඩා ඝනත්වය වැඩි නමුත් පාෂාණ වලට වඩා අඩු ඝනත්වයක් ඇති ද්‍රව්‍ය වලින්, එනම් ජලයෙන් සෑදී ඇති බවටයි සිතිය හැකි වන්නේ.
මෙම පිටසක්වළ ග්‍රහලෝක දෙක සමීප ව ම සැසඳිය හැකි වන්නේ අපේ බාහිර සෞරග්‍රහ මණ්ඩලයට අයත් අයිස් චන්ද්‍රයන් සමග බව පර්යේෂකයන් පවසනවා.
“බ්‍රහස්පති හා සෙනසුරුට අයත් ජලය බහුල චන්ද්‍රයින් වන යුරෝපා සහ එන්සෙලඩස්වල විශාල ප්‍රමාණයේ අනු රූ දෙකක් ඒවායේ තාරකාවට වඩා සමීප කළ අවස්ථාවක් ගැන සිතන්න. Kepler – 138c සහ Kepler – 138d ග්‍රහලෝක දෙකේ අයිස් මතුපිටක් වෙනුවට විශාල ජල වාෂ්ප වැස්මක් තිබිය හැකියි.”
ඉහත පර්යේෂණයට නායකත්වය දුන් කැනඩාවේ මොන්ට්‍රියල් සරසවියේ පිටසක්වළ ග්‍රහලෝක පර්යේෂණ පිළිබඳ ට්‍රොටියර් ආයතනයේ ආචාර්ය උපාධිය හදාරන ශිෂ්‍යාවක වන Caroline Piaulet පවසනවා.
පෘථිවියේ මෙන් මේ ග්‍රහලෝක දෙකේ මතුපිට ජලයෙන් පිරුණු සාගර නො තිබිය හැකි බවයි පර්යේෂකයන් අනුමාන කරන්නේ.
“මේ ග්‍රහලෝක දෙකේ වායුගෝලයන්ගේ උෂ්ණත්වය ජලයේ තාපාංකයටත් වඩා වැඩියි. එනිසා අපි අපේක්ෂා කරන්නේ හුමාලයෙන් පිරුණු ඝනත්වයෙන් වැඩි ඝන වායුගෝලයක්. මේ වායුගෝලයට යටින් අධික පීඩනයක් යටතේ පවතින උණුසුම් ජලය තට්ටුවක් තිබිය හැකියි. ” Caroline Piaulet සඳහන් කරනවා.
Space.com සහ Nature Astronomy ඇසුරෙනි.
ප්‍රේමශාන්ත කුමාරසිරි