Science News උතුරු කොරියාව විකිරණශීලී සුනාමියක් ඇති කළ හැකි අවියක් අත්හදා බලයි SathyaMarch 24, 20230100 views විකිරණශීලී සුනාමි තත්ත්වයක් ඇති කළ හැකි අවියක් අත්හදා බැලූ බව උතුරු කොරියාව නිවේදනය කරනවා. ඔවුන් පවසන්නේ එය මුහුද අභ්‍යන්තරයේ කෙරෙන න්‍යෂ්ටික පිපුරුමක් මඟින් විකිරණශීලිත්වයෙන් යුතු සාගර තරංගයක් ඇති කළ හැකි ඩ්‍රෝන යානයක් බවයි. පියොංයැංග්හි නිල පුවත් සපයන්නා වන කොරියානු මධ්‍යම පුවත් ඒජන්සියේ (KCNA) බලධරයෙකු සඳහන් කළ අන්දමට මේ නව අවිය වෙරළක සිට හෝ මුහුදේ යාත්‍රා කෙරෙමින් පවතින නෞකාවක් මඟින් හෝ දියත් කළ හැකියි. ඔහු සඳහන් කරන අන්දමට “මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින සාගර කලාපවලට නිසොල්මනේ රහසිගත ව ඇදී ගොස් දියඹ යට දී සිදු කරන අතිශය ප්‍රබල පිපුරුමක් මඟින් මහා පරිමාණයේ විකිරණශීලී සුනාමි තත්ත්වයක් ඇති කළ හැකි” වනවා. ඉකුත් අඟහරුවාදා මේ අත්හදා බැලීම සිදු කෙරුණේ උතුරු කොරියාවේ දකුණු හම්ග්යොංග් පලාතට ඔබ්බෙන් ඇති සාගර කලාපයේ යි. පැය 59ක කාලයක් පුරා සාගරය අභ්‍යන්තරයේ ගමන් කළ එය ජල තලයේ සිට මීටර 80ත් 150ත් අතර ගැඹුරක දී පිපුරුම ඇති කළා. මේ නව අවිය හැඳින්වෙන්නේ ‘Haeil’ නමින්. ඒ ‘සැඩ රළ’ නැතහොත් ‘සුනාමිය’ යන්න අරුත් ගැන්වීමට කොරියානු බසින් යොදා ගැනෙන වදනයි. මේ නවතම අවිවල අත්හදා බැලීම් මඟින් තමන් ඇමරිකා එක්සත් ජනපදයට සහ දකුණු කොරියාවට අනතුරු අඟවන බව ද KCNA නිවේදනයෙන් කියැවුණා. ඒ ළඟ එන න්‍යෂ්ටික අර්බුදයක් ගැන ද සිහිපත් කරමින්. එසේ ම පසුගිය සතිය පුරා ම පාහේ උතුරු කොරියාව සිය න්‍යෂ්ටික මිසයිල අත්හදා බැලීම් සිදු කළ බව වාර්තා වුණා. KCNA වැඩිදුරටත් සඳහන් කළේ උතුරු කොරියානු රාජ්‍ය නායක කිම් ජොංග් උන් සිය න්‍යෂ්ටික අත්හදා බැලීම් පිළිබඳ තෘප්තියෙන් පසු වන බවයි. ‘Haeil’ අත්හදා බැලීම නැරඹීම සඳහා ඔහු ද එහි පැමිණ සිටියා. BBC, ABC සහා KCNA ඇසුරෙනි. සත්‍ය හෙට්ටිආරච්චි