NASA ආයතනය මඟින් අභ්‍යවකාශගත කරන ලද RHESSI නම් චන්ද්‍රිකාව මේ සතිය තුළ දී පෘථිවියට කඩා වැටීමට නියමිත බව නිවේදනය කෙරුණේ ටික දිනකට පෙර සිට මයි. ඊශ්‍රායල් ජාතික විද්‍යාඥ Reuven Ramatyගේ නමින් නම් කළ මේ චන්ද්‍රිකාව 2002 වසරේ දී පහළ පෘථිවි කක්ෂයක් වෙත යැවුණේ සූර්ය ගිනි දැල් අධ්‍යයනය කිරීමේ අරමුණින්. එය 2018 දී විශ්‍රාම යැවුණා.
කඩා වැටෙන බව ප්‍රකාශ වුවත්, කඩා වැටෙන්නට නියමිත නිෂ්චිත ස්ථානයක් නම් කිරීමට කිසිවෙක් සමත් වූයේ නෑ.
තත්ත්වය මෙසේ තිබිය දී ඊයේ රාත්‍රියේ යුක්රේනයේ කියෙව් නගරයට ඉහළින් ඇදී ගිය දීප්තිමත් ආලෝක පුංජයක් නිසා ගුවන් අනතුරු සංඥා ක්‍රියාත්මක වී නද දෙන්නට ගත්තා.
“මූලික තොරතුරුවලට අනුව, මේ සංසිද්ධිය සිදු වුණේ NASA ආයතනයට අයත් චන්ද්‍රිකාව කඩා වැටීමේ ප්‍රතිඵලයක් විදිහට කියා අපි විශ්වාස කරනවා.” කියෙව් හි යුද කටයුතු ප්‍රධානියා වශයෙන් කටයුතු කරන සර්ගෙයි පොප්කෝ සඳහන් කළා. පොප්කෝ පවසන පරිදි මේ දීප්තිමත් ආලෝකය ඇති වී තිබෙන්නේ රාත්‍රී 10ට පමණ.
ගුවන් අනතුරු සංඥා නද දුන්න ද විගසින් එය මෙකී චන්ද්‍රිකාව බව ඒත්තු යාම නිසා ‘ගුවන් ආරක්ෂණ මෙහෙයුම්’ ක්‍රියාත්මක නො කෙරුණු බවයි පොප්කෝ සඳහන් කළේ.
නමුත් NASA ආයතනය පවසන්නේ කිව් නගරයට ඉහළින් ඇදී ගිය ආලෝක පුංජය තමන්ට අයත් RHESSI චන්ද්‍රිකාව කඩා වැටීම නිසා සිදු වූවක් නො වන බව සථීර කරගත් බවයි. මෙකී සිදු වීම සිදු වන විටත් අදාළ චන්ද්‍රිකාව පැවැතියේ නියමිත කක්ෂයේ බවයි ඔවුන් පවසන්නේ. කෙසේ නමුත් දිගටම RHESSI චන්ද්‍රිකාවේ ගමන් මඟ ලුහුබඳිමින් සිටින බව ඔවුන් සඳහන් කරනවා.
පසුගිය සඳුදා දින NASA ආයතනය ප්‍රකාශ කර තිබුණේ වායුගෝලයට ඇතුළු වීමේ දී සිදු වන ඝර්ෂණය නිසා කිලෝග්‍රෑම් 300ක් බරැති චන්ද්‍රිකාවේ බහුතරය වායුගෝලය තුළ ම දැවී යනු ඇති බවයි. කෙසේ නමුත් ඇතැම් කොටස් මුළුමනින් ම විනාශ නො වී පොළොවට පතිත වීම බලාපොරොත්තු විය යුත්තක් බවත් එහි දී ප්‍රකාශ වුණා. කෙසේ නමුත් ඉන් මිනිසෙකුට හානි පැමිණ වීමට ඇත්තේ 2465කින් 1ක් තරම් අවම සම්භාවිතාවක් බවත් ඔවුන් සඳහන් කර තිබුණා.
ඒ අනුව ඊයේ (19) රාත්‍රියේ කීව් අගනුවරට ඉහළින් ඇදී ගියේ fireball වර්ගයේ උල්කාවක් බවට නිල නොලත් අදහස් පළ වනවා.
The Times of Israel සහ Independent ඇසුරෙනි.
සත්‍ය හෙට්ටිආරච්චි