ලොව පුරා දැනට ක්‍රියාත්මක වන ප්‍රබල එල් නිනෝ (El Niño) දේශගුණික සංසිද්ධිය හේතුවෙන් මාස හයක කාලයක් තුළ ලොව පුරා අතිරේක මරණ 450,000කට ආසන්න සංඛ්‍යාවක් සිදුවිය හැකි බව නව අධ්‍යයනයක් අනතුරු අඟවා තිබෙනවා. විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මෙම මරණ බොහොමයක් අධික උෂ්ණත්වය, නියඟය, ආහාර හිඟය, වායු දූෂණය සහ බෝවන රෝග ව්‍යාප්තිය වැනි දේශගුණික බලපෑම් හේතුවෙන් සිදුවිය හැකි බවයි.
මෙම පර්යේෂණය ප්‍රකාශයට පත් කර ඇත්තේ එල් නිනෝ සංසිද්ධිය වාර්තාගත තත්ත්වයකට ළඟා වෙමින් පවතින අවස්ථාවකයි. විද්‍යාඥයන්ගේ ඇස්තමේන්තු අනුව වර්තමාන එල් නිනෝව පසුගිය වසර දහස් ගණනක දී වාර්තා වූ ප්‍රබලතම සිදුවීම් අතරට එක් විය හැකි අතර, එය දැනටමත් මිනිසා විසින් ඇති කළ ගෝලීය උණුසුම සමඟ එකතු වී කාලගුණික විපර්යාස තවදුරටත් උග්‍ර කරනු ඇතැ යි අපේක්ෂිතයි.
එල් නිනෝ යනු පැසිෆික් සාගරයේ මධ්‍යම හා නැගෙනහිර ප්‍රදේශවල මුහුදු ජල උෂ්ණත්වය සාමාන්‍යයට වඩා ඉහළ යාම නිසා ඇතිවන ස්වභාවික දේශගුණික චක්‍රයක්. එය ලෝකයේ විවිධ ප්‍රදේශවල වැසි රටා, සුළං පද්ධති සහ උෂ්ණත්වයන් වෙනස් කිරීමට හේතු වන අතර, මෙහි ප්‍රතිඵලයක් ලෙස සමහර රටවලට දැඩි නියඟ තත්ත්වයන් ඇතිවන අතර තවත් ප්‍රදේශවලට ගංවතුර හා ප්‍රබල කුණාටු ඇති වනවා.
අධ්‍යයනයේ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ අඩු හා මධ්‍යම ආදායම්ලාභී රටවල් මෙහි බරපතළම බලපෑම්වලට මුහුණ දෙනු ඇති බවයි. සෞඛ්‍ය සේවා පහසුකම් සීමිත වීම, ආහාර සුරක්ෂිතතාවයේ දුර්වලතා සහ දේශගුණික විපර්යාසවලට අනුවර්තනය වීමේ හැකියාව අඩු වීම නිසා එම රටවල ජනතාව වඩාත් අවදානම් තත්ත්වයක පසුවන බව ඔවුන් සඳහන් කරනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ද මේ වන විට එල් නිනෝව “සෞඛ්‍ය අවදානම් ගුණකයක්” ලෙස හඳුන්වා දී ඇති අතර, උණුසුම වැඩිවීම සහ වර්ෂාපතන රටා වෙනස් වීම හේතුවෙන් ඩෙංගු, මැලේරියාව සහ කොලරාව වැනි රෝග ව්‍යාප්තිය ඉහළ යා හැකි බවට ඔවුන් අනතුරු අඟවා තිබෙනවා.
ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ද බරපතළ ගැටලු මතුවිය හැකි බව විශේෂඥයෝ පෙන්වා දෙනවා. දැනටමත් දකුණු හා ගිනිකොනදිග ආසියාවේ නියඟ තත්ත්වයන්, ගිනි ගැනීම් සහ වගා හානි වාර්තා වී ඇති අතර, එම තත්ත්වය තවදුරටත් උග්‍ර වුවහොත් මිලියන ගණනක් ජනතාව ආහාර හිඟයට මුහුණ දිය හැකි බවට එක්සත් ජාතීන්ගේ ආයතන අනතුරු අඟවා තිබෙනවා. ඇතැම් ඇස්තමේන්තු අනුව එල් නිනෝව හේතුවෙන් මිලියන 50කට ආසන්න පිරිසක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයකට තල්ලු විය හැකි බව සඳහන්.
විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මෙම දේශගුණික සංසිද්ධිය ස්වභාවික චක්‍රයක් වුව ද, මිනිසා විසින් ඇති කළ ගෝලීය උණුසුම එහි බලපෑම් තවදුරටත් තීව්‍ර කරමින් සිටින බවයි. මෑතක දී ප්‍රකාශයට පත් වූ පර්යේෂණයන් පෙන්වා දෙන්නේ පොසිල ඉන්ධන දහනය නිසා එල් නිනෝ සිදුවීම් වඩාත් ප්‍රබල හා නිතර සිදුවන තත්ත්වයකට පත්වෙමින් ඇති බවයි.
මේ අතර, ලෝක කාලගුණ විද්‍යා සංවිධානය සහ දේශගුණ විශේෂඥයන් රටවල්වලට ඉදිරි මාස කිහිපය සඳහා සූදානම් වන ලෙස දැනුම් දී තිබෙනවා. විශේෂයෙන් ම සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීම, ආහාර සංචිත පවත්වාගෙන යාම සහ දේශගුණික අනතුරු පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් පද්ධති වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍ය බව ඔවුන් අවධාරණය කරනවා.