Home Science News ගිලී ගිය නගරයක නටඹුන් හමු වෙයි

ගිලී ගිය නගරයක නටඹුන් හමු වෙයි

by Sathya

පෘරාවෘත්තවලට අනුව මුහුදේ ගිලී ගියේ යැයි පැවසෙන ජර්මනියේ Rungholt නගරයේ යැයි සැක කළ හැකි නටඹුන් නගරයක් සිතියම් ගත කිරීමට විද්‍යාඥයන් සමත් ව තිබෙනවා. ක්‍රිස්ටියන්-ඇල්බර්ට් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාඥයන් අනුව මෙසේ ගවේෂණය කරනු ලැබ ඇති නටඹුන් ගහන වපසරිය කිලෝමීටර 1.9 දක්වා පැතිර තිබෙනවා. ඒ වර්ථමානයේ Südfall නමින් හැඳින්වෙන දූව ආශ්‍රිතවයි. මෙය අනාවරණ කරගනු ලැබුණේ එ් දූපත පදනම් කරගනිමින් සිදු කළ භූ භෞතික ආවේක්ෂණයක් අතරතුර දී යි.

ජර්මානු පුරාවෘතයන්ට අනුව Rungholt නගර වැසියන් ගත කර තිබෙන්නේ සුඛවිහරණයෙන් සුසැඳි අමරණීය වූ ජීවිතයක්. නමුත් බීමත් ව සිටි තරුණයන් දෙදෙනෙක් උරෙකුට අවසන් සක්‍රමේන්තුව දක්වන මෙන් බලපෑම් කිරීමෙන් අනතුරුව පූජකතුමා පල්ලියට ගොස් දෙවියන් යැද ඔවුන්ට දඬුවම් ලබා දෙන ලෙස යාඥා කළ බව කියැවෙනවා. පසු දින පූජකවරයා නගරයෙන් පිටත් ව ගිය පසු මහා කුණාටුවක් හමා විත් Rungholt නගරය පෘථිවිය මතුපිටින් අතුරුදන් ව ගොස් තිබෙනවා.

මධ්‍යතන පුරාවෘතයන් මඟින් පැවසෙන්නේ උතුරු මුහුදු පත්ලේ සිට නැඟී එන නගරයේ වූ ඝාන්ටාරයේ හඬ තවමත් ඇසිය හැකි බවයි. මෙතෙක් කල් ඉතිහාසඥයන් සැක මතු කළේ එය හුදෙක් මිථ්‍යා කතාවක එන මනඃකල්පිත නගරයක් පමණක් වුව ද විය හැකි බවයි.

‘‍මඩ තට්ටු යට සැඟවී තිබුණු නගරයේ අවශේෂයන් හඳුනා ගැනීම සහ සිතියම් ගත කිරීම සිදු වූයේ චුම්භක අනුක්‍රමණයන් (magnetic gradiometry), විද්‍යුත් චුම්භක ප්‍රේරණය (electromagnetic induction) සහ භූ තරංග වැනි විවිධාකාර වූ භූභෞතික ක්‍රමවේදයන් යොදා ගැනුණා.’ පර්යේෂණයට දායක වූ Kiel විශ්වවිද්‍යාලයේ භූභෞතික විද්‍යාඥ ඩෙනිස් විල්කන් සඳහන් කරනවා.

සොයාගත් නටඹුන් අතර වරායක්, වාරි පද්ධතියක් සහ සුවිසල් පල්ලියක පාදමේ කොටසක් ද වනවා. කෙසේ නමුත් නටඹුන් කොටස් සියල්ලක් ම පාහේ ඛාදනයට ලක් වෙමිනුයි පවතින්නේ. එනිසා වැඩිදුර පර්යේෂණ කටයුතු කඩිනමින් සිදු කිරීමට සිදු වනු ඇති බවයි පර්යේෂණ කණ්ඩායම සඳහන් කරන්නේ.

Science Alert සහ The Times ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications