Home Science News විශ්වයේ ආරම්භක යුගයෙන් හමුවූ පැරණිතම ක්වේසාර් යුගලය

විශ්වයේ ආරම්භක යුගයෙන් හමුවූ පැරණිතම ක්වේසාර් යුගලය

by Sathya

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය භාවිත කරමින් විශ්වයේ ආරම්භක අවධියේදී පැවති අති දැවැන්ත කළු කුහර දෙකක් මඟින් බලගැන්වෙන ක්වේසාර් (Quasar) යුගලයක් සොයා ගැනීමට තාරකා විද්‍යාඥයන් පිරිසක් සමත්ව තිබෙනවා. මහා පිපිරුමෙන් වසර මිලියන 900කට පමණ පසු පැවති විශ්වය නිරීක්ෂණය කිරීමෙන් මෙම සොයාගැනීම සිදුකර ඇති අතර, එය මෙතෙක් නිරීක්ෂණය කර ඇති පැරණිතම සහ එකිනෙකට සමීපතම ක්වේසාර් යුගලය ලෙසයි සැලකෙන්නේ.

J1602+4228AB ලෙස නම් කර ඇති මෙම පද්ධතියට හවායි භාෂාවෙන් Nāpōwawāʻenakaulua යන නාමය ද ලබා දී තිබෙනවා. එය අති ප්‍රබල අඳුරු ආකාශ වස්තූන් දෙකක් විශ්වයට ශක්තිය මුදාහරින බවට අදහසක් ගෙන දෙන නාමයක්.

මෙම කළු කුහර දෙක අතර දුර ආලෝක වර්ෂ 18,100ක් පමණක් වන අතර, එය ක්ෂීරපථ මන්දාකිනියේ විෂ්කම්භයෙන් පහෙන් එකකට ආසන්න දුරක්. ඒවායේ ස්කන්ධ පිළිවෙළින් සූර්යයාගේ ස්කන්ධය මෙන් බිලියන 1.5ක් සහ මිලියන 400ක් ලෙස ගණනය කර තිබෙනවා. විශ්වයේ වයස එහි වර්තමාන වයසින් දහතුනෙන් එකක් පමණ වූ අවධියක මෙතරම් දැවැන්ත කළු කුහර දෙකක් පැවතීම විද්‍යාඥයන්ගේ විශේෂ අවධානයට ලක්ව තිබෙනවා.

ක්වේසාර් යනු මන්දාකිණිවල මධ්‍යයේ පිහිටි අති දැවැන්ත කළු කුහර වටා පවතින වායු සහ දූවිලිවලින් සමන්විත තැටියක් තුළට ද්‍රව්‍ය ඇදී යාමෙන් නිර්මාණය වන අතිශය දීප්තිමත් ආකාශ වස්තූන්. මෙම තැටිය හැඳින්වෙන්නේ Accretion Disk ලෙසයි. කළු කුහරයේ ප්‍රබල ගුරුත්වාකර්ෂණය හේතුවෙන් එහි ඇති ද්‍රව්‍ය අධික ලෙස රත් වන අතර, එම ක්‍රියාවලියේ දී නිකුත් වන ශක්තිය නිසා සමස්ත මන්දාකිනියක තරු සියල්ලෙන් නිකුත් වන ආලෝකයටත් වඩා දීප්තිමත් ආලෝකයක් ඇති විය හැකියි.

විද්‍යාඥයන්ට මෙම සොයාගැනීම ගැටලුවක් වී ඇත්තේ කළු කුහරවල වර්ධනය පිළිබඳ දැනට පවතින න්‍යායික ආකෘතිවලට එය අභියෝගයක් එල්ල කරන බැවිනුයි. සාමාන්‍යයෙන් කළු කුහරයකට සූර්ය ස්කන්ධය මෙන් මිලියන ගණනක් හෝ බිලියන ගණනක් දක්වා වර්ධනය වීමට ද්‍රව්‍ය අවශෝෂණය කරගැනීම සහ අනෙකුත් කළු කුහර සමඟ ඒකාබද්ධ වීම සඳහා සැලකිය යුතු කාලයක් අවශ්‍ය බව සැලකෙනවා. ඇතැම් ආකෘති අනුව එවැනි වර්ධනයක් සඳහා අවම වශයෙන් වසර බිලියනයක පමණ කාලයක් ගත විය හැකියි.

එහෙත් විශ්වයේ වයස වසර බිලියනයකටත් අඩු අවධියක මෙතරම් දැවැන්ත කළු කුහර දෙකක් එකම පද්ධතියක පැවතීමෙන් ඒවා නිර්මාණය වූ ආකාරය පිළිබඳ නව ප්‍රශ්න මතුව තිබෙනවා.

විශ්වයේ මෙතරම් මුල් අවධියක එක් දැවැන්ත ක්වේසාරයක් පැවතීම පවා පැහැදිලි කිරීමට නිශ්චිත න්‍යායික පිළිතුරක් නොමැති බවත්, එවැනි ක්වේසාර් දෙකක් එකවර හමුවීම ඊටත් වඩා පුදුම සහගත බවත් පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානියා වන NSF NOIRLab ආයතනයේ සිල්වියා ඔනොරටෝ පවසනවා.

මෙම සොයාගැනීම සිදුකර ඇත්තේ ජේම්ස් වෙබ් දුරේක්ෂයේ Aether නමැති සමීක්ෂණ වැඩසටහනෙන් ලබාගත් දත්ත අධ්‍යයනය කිරීමෙන්. මුල් විශ්වයේ පැවති ආකාශ වස්තු පිළිබඳ තොරතුරු එක්රැස් කරන මෙම වැඩසටහන මඟින් දැනට ක්වේසාර් 200ක් පමණ හඳුනාගෙන තිබෙනවා.

ජේම්ස් වෙබ් දුරේක්ෂයේ NIRSpec උපකරණය භාවිත කරමින් ලබාගත් දත්ත අධ්‍යයනය කිරීමේ දී J1602+4228A ලෙස හඳුනාගෙන තිබූ ක්වේසාරය අසල තවත් ක්වේසාරයක් පවතින බව විද්‍යාඥයන් හඳුනාගෙන තිබෙනවා. එය නම් කර තබෙන්නේ J1602+4228B ලෙසයි.

මෙම ආකාශ වස්තු දෙක වෙන් වෙන් ව හඳුනාගැනීම සඳහා හවායිහි මවුනකේයා කඳුකරයේ පිහිටි Gemini North දුරේක්ෂය ද යොදාගෙන තිබෙනවා. පෘථිවියේ සිට පවතින අති විශාල දුර සහ ඒවා අතර ඇති සාපේක්ෂව කුඩා පරතරය හේතුවෙන් මෙම ක්වේසාර් දෙක වෙන් කර හඳුනාගැනීම අභියෝගාත්මක කාර්යයක් වී තිබෙනවා. එහෙත් සුදුසු කාලගුණික තත්ත්ව සහ නිරීක්ෂණ අවස්ථාවක් ලැබීම නිසා එය සාර්ථක වුණා.

මන්දාකිණි එකිනෙක ගැටීම සහ ඒකාබද්ධ වීම විශ්වයේ සාමාන්‍යයෙන් සිදුවන ක්‍රියාවලියක්. එවැනි අවස්ථාවල දී ඒවායේ මධ්‍යයේ පවතින අති දැවැන්ත කළු කුහර ද එකිනෙකට සමීප විය හැකියි. එහෙත් ක්වේසාර් අවධිය සාපේක්ෂව කෙටි වීම, ඒවා පවතින අති විශාල දුර සහ එකිනෙකට සමීපව පිහිටීම නිසා මෙවැනි යුගල හඳුනාගැනීම ඉතා දුෂ්කර වී තිබෙනවා.

Nāpōwawāʻenakaulua පද්ධතිය සොයාගැනීම මුල් විශ්වයේ දී දැවැන්ත මන්දාකිණි සහ ඒවායේ මධ්‍යයේ පවතින කළු කුහර එකට වර්ධනය වූ ආකාරය අධ්‍යයනය කිරීමට සුවිශේෂී අවස්ථාවක් සපයනු ඇතැයි පර්යේෂකයන් විශ්වාස කරනවා.

මෙම පර්යේෂණය පිළිබඳ ලිපිය 2026 නොවැම්බර් 10 වැනිදා The Astrophysical Journal Letters ජර්නලයේ පළ වුණා.

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications