ලොව විශාලතම අභ්‍යවකාශ රොකට් පද්ධතිය වන Starship යානයේ ඉහළ කොටස පළමු වරට දියත් කිරීමේ කුලුනේ සවි කර ඇති යාන්ත්‍රික බාහු ආධාරයෙන් සාර්ථකව අල්ලා ගැනීමට එහි නිෂ්පාදන සමාගම වන SpaceX පසුගිය දා සමත් වුණා. මෙය අභ්‍යවකාශ ගමන් සඳහා භාවිත කරන රොකට් නැවත නැවතත් භාවිත කිරීමේ සමාගමේ අරමුණ සාක්ෂාත් කර ගැනීමේ වැදගත් සන්ධිස්ථානයක් බවට පත් වුණා.
2026 නොවැම්බර් 14 වැනි දා සිදු වූ මෙම සුවිශේෂී මෙහෙයුම Starship රොකට්ටුවේ 15 වැනි පරීක්ෂණ ගුවන් ගමනට (Flight 15) අදාළ ව සිදු වුණා. නොවැම්බර් 13 වැනි දා ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පිහිටි Starbase මධ්‍යස්ථානයෙන් දියත් කෙරුණු යානයේ ඉහළ කොටස වන Ship 42, පෘථිවිය වටා ගොස් පැය 22.5කට පමණ පසුව නැවත පෘථිවියට ගොඩබැසීම සිදුවුණා.
මෙහි දී විශේෂත්වය වූයේ යානය සාගරයට ගොඩබැස්වීම වෙනුවට දියත් කිරීමේ කුලුනේ සවි කර ඇති දැවැන්ත යාන්ත්‍රික බාහු දෙකක් අතරට ගෙන එමින් අල්ලා ගැනීමයි. Chopsticks ලෙස හැඳින්වෙන මෙම බාහු, SpaceX සමාගම විසින් ‘මෙකාසිලා’ (Mechazilla) යන නමින් හඳුන්වන දැවැන්ත දියත් කිරීමේ කුලුනේ ප්‍රධාන අංගයක් වනවා.
මෙම මෙහෙයුමේ දී Ship 42 යානය වායුගෝලයට නැවත ඇතුළු වීමේ දී ඇති වන අධික උෂ්ණත්වයට මුහුණ දෙමින් පාලිත ආකාරයෙන් පහළට පැමිණි අතර, චොප්ස්ටික්ස් යාන්ත්‍රික බාහු දෙක අතරට නිවැරදි ව පැමිණි යානය සාර්ථකව අල්ලා ගැනීමට හැකියාව ලැබුණා.
මීට පෙර Starship පද්ධතියේ පහළ කොටස වන Super Heavy බූස්ටරය මෙවැනි යාන්ත්‍රික බාහු ආධාරයෙන් අල්ලා ගැනීමට SpaceX සමාගම අවස්ථා තුනක දී සමත් වී තිබුණ ද, ඉහළ කොටස වන Ship යානය සම්බන්ධයෙන් එවැනි සාර්ථකත්වයක් වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.
ඉහළ කොටස අල්ලා ගැනීම වඩාත් අභියෝගාත්මක කාර්යයක් වන්නේ එය බූස්ටරයට සාපේක්ෂ ව වැඩි උසකට, වැඩි දුරකට සහ වැඩි වේගයකින් ගමන් කර නැවත පෘථිවියට පැමිණෙන බැවිනුයි.
කෙසේ වෙතත්, මෙම මෙහෙයුමේ දී රොකට් පද්ධතියේ පහළ කොටස හෙවත් Super Heavy බූස්ටරය අල්ලා ගැනීමේ උත්සාහය සාර්ථක වී තිබුණේ නැහැ. ඉන්ධන මට්ටම සම්බන්ධ අනතුරු ඇඟවීමක් හේතුවෙන් Super Heavy බූස්ටරය දියත් කිරීමේ කුලුන වෙත නො පැමිණ මෙක්සිකෝ බොක්ක වෙත පතිත කිරීමට සිදු වුණා.
මෙම ගුවන් ගමනේ තවත් වැදගත් අරමුණක් වූයේ Starlink V3 චන්ද්‍රිකා පොකුරක් කක්ෂගත කිරීමයි. එහි දී චන්ද්‍රිකා 26ක් පහත් පෘථිවි කක්ෂයට මුදාහැරීමට Ship 42 සමත් වුණා. මීට පෙර 14 වැනි පරීක්ෂණ ගුවන් ගමනේදී ද තවත් චන්ද්‍රිකා 26ක් කක්ෂගත කර තිබූ අතර, ඒ අනුව නව පරම්පරාවේ ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා 52ක් මේ වන විට අභ්‍යවකාශයට යවා තිබෙනවා.
Starship පද්ධතිය සම්පූර්ණයෙන් ම නැවත භාවිත කළ හැකි රොකට් පද්ධතියක් බවට පත් කිරීම SpaceX සමාගමේ ප්‍රධාන අරමුණක් වනවා. එමඟින් අභ්‍යවකාශ ගමන් සඳහා වැය වන පිරිවැය අවම කිරීම මෙන් ම අභ්‍යවකාශයට භාණ්ඩ හා චන්ද්‍රිකා ප්‍රවාහනය කිරීමේ වේගය ඉහළ නැංවීම ද අපේක්ෂා කෙරෙනවා.