කල්පිත වැම්පයර් කෙනෙකු ලෙස ප්‍රසිද්ධියට පත් ව ඇති ඩ්‍රැකියුලා නම් අද්භූත චරිතය ගොඩනැඟී ඇත්තේ 15 වැනි සියවසේ රොමේනියාවේ වලචියා නම් ප්‍රෙද්ශය පාලනය කළ ව්ලැඩ් ඩ්‍රැකියුලා නම් සිටුවරයාගේ (Vlad Drăculea) ජීවන වෘතාන්තය ඇසුරින්. ඔහු රොමේනියානු දේශ සීමා රැක ගැනීම වෙනුවෙන් අතිශය කෘෘර පිළිවෙත් අනුගමනය කළ අයෙකු වශයෙන් ප්‍රසිද්ධයි. ක්‍රි.ව. 1459 දී බ්‍රාසොෆ් නම් ට්‍රාන්සිල්වේනියානු නගරයට පහර දුන් ඔහු එය ගිනිබත් කොට එහි විසූ ජනයා උල තබා මරණයට පත් කර තිබුණා. මේ හේතුවෙන් ‘ව්ලැඩ් නම් උල තබන්නා’ යන අරුත වර නැංවෙන පරිදි Vlad the Impaler නමින් ද ඔහු හැඳින්වෙනවා. ඉතිහාසගත මූලාශ්‍ර පෙන්වා දෙන්නේ 80,000කට අධික පිරිසකගේ මරණයට ඔහු වගකිවයුතු බවයි. ඉන් 20,000ක් ම ඝාතනය කර තිබෙන්නේ උල තැබීමෙන්.
ඩ්‍රැකියුලා පරිශීලනය කළ ලියුම් විශ්ලේෂණය කිරීම මඟින් සැඟ ව තිබූ තවත් සුවිශේෂ සෞඛ්‍ය තත්ත්වයක් අනාවරණය වී තිබෙනවා. එනම් ඔහු කඳුළු සමඟ රුධිරය ද පිටවන hemolacria නම් රෝගී තත්ත්වයකින් පෙළුණු බවයි.
මේ බව පෙන්වා දෙනු ලැබූ අධ්‍යයනය සිදු කෙරුණේ ඉතාලියේ Catania විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාඥවරියක ලෙස කටයුතු කරන Maria Gaetana Giovanna Pittalàගේ මූලිකත්වයෙන්. ඩ්‍රැකියුලා සම්බන්ධයෙන් මෙවැනි විද්‍යාත්මක පදනමක් සහිත අධ්‍යයනයක් සිදු වූ පළමු අවස්ථාව මෙය බවයි පර්යේෂණ කණ්ඩායම පෙන්වා දෙන්නේ.
ඔහුගේ ජීවිත පැවතුම් පළිබඳ ලේඛණගත පාඨ සාක්ෂ්‍ය දරතත් ඇතැම් දෑ කිසි දාක හෙළි නො වන සේ මෙතෙක් කල් සැඟව ගොස් තිබෙනවා. Pittalà ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායම පෙන්වා දෙන්නේ සැඟව ගිය රහස් ඩ්‍රැකියුලාගේ ස්පර්ෂයට නතු වූ භාණ්ඩ විශ්ලේෂණය කිරීම මඟින් අනාවරණ කරගත හැකි බවයි. මෙහි දී පර්යේෂකයන්ගේ අවධානය යොමු වී තිබුණේ ඔහු සන්තකයේ පැවති ලියුම් වෙතටයි.
සාමාන්‍යෙයන් පැරැන්නන් හුවමාරු කරගත් ලියුම් අධ්‍යයනය කිරීම පුරාවිද්‍යාඥයන් වෙත අතිශය වැදගත් වන්නේ ඒවායේ ලියැවී ඇති කරුණු අධ්‍යයනය කරමින් එකල පැවති සමාජයීය වටපිටාව ගැන තොරතුරු රැස් කරගත හැකි බැවිනුයි. නමුත් මෙහි දී පර්යේෂකයන්ගේ අවධානයට බඳුන් වූයේ ලියුම්වල අන්තර්ගතය නොවෙයි. එහි මිනිස් පහස ලද තැන්වල තැවරී ඇති ප්‍රෝටීන සහ අනෙකුත් අණු පිළිබඳවයි.
ඩ්‍රැකියුලා පරිශීලනය කළ ලියුම් මේ වන විට වසර 500ක් පැරැණි බැවින් හානියක් නො වන පරිදි ඉන් අදාළ කොටස් පමණක් ඉපිටීම කළ නො හැක්කක්. නමුත් ඊට විකල්පයක් වශයෙන් මෑත කාලීන ව සොයාගත් ethylene-vinyl acetate නම් රසායන පටලය පිහිටට පැමිණ තිබෙනවා. ඕනෑ ම මතුපිටක් මත තැවරීමෙන් එම මතුපිටට හානියක් නො වන පරිද්දෙන් ප්‍රෝටීන සහ අණු නිස්සාරණය කරගත හැකියි.
1457 සහ 1475 වසරවල ලියූ බවට කාල නිර්ණය කර ඇති ව්ලැඩ් ඩ්‍රැකියුලාගේ ලියුම් තුනකට මෙකී පටලය යෙදූ පර්යේෂණ කණ්ඩායම ඉන් ලබාගත් ප්‍රෝටීන අධ්‍යයනය කිරීම මඟින් ඔහුගේ සෞඛ්‍යය තත්ත්වය පිළිබඳ ප්‍රමාණාත්මක තොරතුරු ගණනාවක් රැස් කරගන්නට සමත් වුණා.
එහි දී ඔවුන්ට කදුළුවල ඇති ප්‍රෝටීන මෙන් ම රුධිර ප්‍රෝටීන ද හමු වී තිබුණා. පර්යේෂකයන් පෙන්වා දෙන්නේ ඔහු hemolacria රෝගී තත්ත්වයකින් පෙලෙන්නට ඇති බව පෙනී යන බවයි. ඩ්‍රැකියුලා පිළිබඳ සඳහන් ඇතැම් පුරාවෘතවල ඔහු ලෙයින් කඳුළු සැලූ බව සඳහන් වනවා. එහි සත්‍යතාවයක් පැවතිය හැකි බව මෙම අධ්‍යයනය පෙන්වා දෙනවා.
හමු වූ ප්‍රෝටීන අධ්‍යයනය මඟින් ව්ලැඩ් ඩ්‍රැකියුලා චර්ම රෝගයකින් හෝ ස්වසන රෝගයකින් හෝ ඇතැම් විට ඒ දෙකෙන් ම පීඩා විඳින්නට ඇති බව ද පර්යේෂණයෙන් පෙනී ගොස් තිබෙනවා.
Live Science ඇසුරෙනි.
සත්‍ය හෙට්ටිආරච්චි