Home Science News පර්සවියරන්ස් රෝවරය රතු ග්‍රහයා මත ‘දුහුවිලි රකුසකු’ නිරීක්ෂණය කරයි

පර්සවියරන්ස් රෝවරය රතු ග්‍රහයා මත ‘දුහුවිලි රකුසකු’ නිරීක්ෂණය කරයි

by Sathya

සිය මෙහෙයුමට අනුගත ව ගෙවන 899 වැනි අඟහරු දිනයේ දී (සොල් 899) NASA ආයතනයේ පර්සවියරන්ස් රෝවරයේ කැමරාවට අඟහරු පෘෂ්ඨය මතින් හමා යන ‘දුහුවිලි රකුසෙකු’ (dust devil) හසු වී තිබෙනවා. ඒ ජෙසරෝ ආවාටය ගවේෂණයට ලක් කරමින් සිටිය දී යි.

රෝවරය සතු යාත්‍රණ කැමරා පද්ධතිය (NavCam) මඟින් ලබාගැනුණු එම ඡායාරූප එකට පෙළ ගස්වමින් තත්පර 4 ක කෙටි වීඩියෝ පටයක් මේ වන විට නිකුත් වී තිබෙනවා. පෘථිවි දිනවලින් පැවසුව හොත් රෝවරය මේ නිරීක්ෂණය සිදු කරන්නට සමත් වී තිබෙන්නේ පසුගිය අගෝස්තු මස 30 වැනි දිනයි.

පෘථිවිය මත ද හට ගන්නා කෙටි කාලීන සැඩ සුළං තත්ත්වයන් මෙන් මෙම සිරස් අතට කරකැවෙන සුළං ප්‍රවාහයන් ද හට ගන්නේ පෘෂ්ඨයට ආසන්නයේ පවතින උණුසුම් වායු ස්කන්ධයක් ඊට ඉහළින් ඇති උෂ්ණත්වයෙන් අඩු වා ස්තරයක් හරහා ඉහළට ගමන් කිරීම හේතුවෙන්. මෙවැනි සංසිද්ධීන් අධ්‍යයනය කිරීම මඟින් විද්‍යාඥයන්ට අඟහරුගේ වායුගෝලය සහ කාලගුණ තත්ත්වය පිළිබඳ ඇති දැනුම යාවත්කාල කරගැනීමට ඉඩ සැලසෙනවා.

රෝවරයට දුහුවිලි රකුසා ‘දුහුවිලි රකුසා’ හමු වී තිබුණේ ජෙසරෝ ආවාටයේ බටහිර ඉවුරේ පිහිටා ඇති ‘Thorofare Ridge’ යනුවෙන් හැඳින්වෙන ස්ථානයේ දී යි. ඡායාරූප මඟින් රැස් කරගත් දත්ත අනුව විද්‍යාඥයන් හෙළි කරගනෙ ඇති පරිදි මේ සුළං ප්‍රවාහය රෝවරයෙන් කිලෝමීටර 4ක් පමණ ඈතින් හමා ගොස් ඇති අතර මීටර 60ක විෂ්කම්භයකින් යුක්ත ව තිබෙනවා. එය නැඟෙනහිර සිට බටහිර දෙසට හමා ගොස් තිබෙන්නේ පැයට කිලෝ මීටර 19ක වේගයකින්. Space Science Instituteහි ග්‍රහ විද්‍යාඥ මාක් ලෙමන් සඳහන් කරන පරිදි රෝවරය විසින් ගනු ලැබූ ඡායාරූපවල සටහන් වී ඇත්තේ දුහුවිලි රකුසාගේ පහළ කොටස පමණක් වුවත් එහි සෙවණැල්ල පදනම් කරගෙන එහි මුළු උස කිලෝ මීටර 2ක් පමණ වන්නට ඇතැයි ගණනය කර තිබෙනවා.

දුහුවිලි රකුසන් අඟහරු මත සිදු වන සුලභ සංසිද්ධියක් ලෙස හඳුනාගත හැකියි. එක ම වෙනස නම් ඒවා ප්‍රමාණයෙන් පෘථිවිය මත ඇති වන දුහුවිලි රකුසන්ට වඩා විශාල ව වැඩීමයි. අඟහරු වායුගෝලයේ ඇති සාපේක්ෂ ව අඩු පීඩනය එයට හේතුවයි.

Science Alert ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications