නව සංගීත ඇල්බමයක් නිකුත් වීම රසිකයින්ට මහත් සතුටට කරුණක් වුවද, ලොව ප්‍රකට ජනප්‍රිය ගීත ඇල්බම නිකුත් වන දිනවලදී මාරක රිය අනතුරු සැලකිය යුතු ලෙස ඉහළ යන බව හාවඩ් වෛද්‍ය විද්‍යාලය විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකින් පෙනී ගොස් තිබෙනවා.
Jama Network Open ජර්නලයේ පළ කර ඇති මෙම පර්යේෂණ වාර්තාවට අනුව, ප්‍රධාන පෙළේ ගීත ඇල්බම නිකුත් වන දිනවල දී රිය අනතුරු හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව සාමාන්‍ය දිනවලට වඩා 15.1% කින් පමණ ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වනවා.
මේ අධ්‍යයනය සිදුකර තිබෙන්නේ 2017 සහ 2022 අතර කාලයේ දී නිකුත් වූ සහ දිනක් තුළ වැඩි ම පිරිසක් Spotify හරහා සවන් දුන් ටේලර් ස්විෆ්ට්, ඩ්‍රේක් සහ හැරී ස්ටයිල්ස් වැනි ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ ප්‍රධාන ඇල්බම 10ක් පදනම් කරගෙෙනයි. වාර්තාවලට අනුව, අදාළ ඇල්බම 10 නිකුත් වූ දිනවල දී පමණක් ඇමරිකා එක්සත් ජනපදය තුළ මාරක රිය අනතුරු 182 ක් අමතරව වාර්තා වී තිබෙනවා.
මෙම තත්ත්වයට ප්‍රධානතම හේතුව ලෙස පර්යේෂකයන් පෙන්වා දෙන්නේ රියදුරන්ගේ අවධානය වෙනතකට යොමු වීමයි. පර්යේෂණයේ ප්‍රධාන කර්තෘ වෛද්‍ය විශාල් පටෙල් සඳහන් කරන පරිදි, මේ යුගයේ ගීතයක් වාදනය කිරීම එක් බොත්තමක් එබීමකින් පමණක් කළ හැක්කක් නොවෙයි. ජංගම දුරකතනයේ අගුලු හැරීම, යෙදුම විවෘත කිරීම, ගීත ලැයිස්තුව කියවීම සහ අවශ්‍ය ගීතය තේරීම වැනි ක්‍රියාවලියක් සඳහා තත්පර කිහිපයක් තිරය දෙස බලා සිටීමට රියදුරාට සිදුවනවා. රිය පැදවීමේ දී එම තත්පර කිහිපය මාරාන්තික අනතුරක් සඳහා ප්‍රමාණවත් වනවා. එසේ ම, නුහුරු මෙන් ම වේගවත් රිද්මයකින් යුත් නව ගීතවලට සවන් දීම ද රිය පැදවීමේ කාර්යක්ෂමතාව අඩු කරන බව පර්යේෂණ මඟින් පෙන්වා දී තිබෙනවා.
විශේෂයෙන් ම තරුණ රියදුරන් සහ පිරිමි රියදුරන්, මෝටර් රථය තුළ තනි ව ගමන් කරන අය සහ නවීන රසාස්වාද තිර සහිත වාහන පදවන පුද්ගලයන් අතර මෙම මාරක අනතුරු බහුල ව සිදුවන බව හෙළි වී තිබෙනවා.
මෙම අවදානම වළක්වා ගැනීම සඳහා වාහනය පණගන්වා ගමන් ආරම්භ කිරීමට පෙර තම ගීත ලැයිස්තුව සකසා ගන්නා ලෙසත්, ගමන අතරතුර දුරකතනය භාවිත කිරීමෙන් වැළකී සිටින ලෙසත් වෛද්‍ය පටෙල් රියදුරන්ට උපදෙස් දෙනවා. වාහනය තුළ වෙනත් මගියෙකු සිටී නම් ගීත තේරීමේ කටයුතු ඔවුන්ට පවරන ලෙස ද, ගීත බෙදාහරින ආයතන මේ සම්බන්ධයෙන් රියදුරන් දැනුවත් කිරීමේ පණිවිඩ නිකුත් කිරීම වැදගත් බව ද ඔහු වැඩිදුරටත් යෝජනා කරනවා.