බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් පිරිසක් විසින් විශ්වයේ මුල් අවධිය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා සඳෙහි පෘථිවියට නො පෙනෙන කලාපය යොදා ගැනීමේ සැලසුමක් සකස් කර තිබෙනවා. ඒ සඳහා ගමන් මල්ලක ප්‍රමාණයේ කුඩා චන්ද්‍රිකාවක් සඳ වටා කක්ෂගත කිරීමට ද ඔවුන් අපේක්ෂා කරනවා.
CosmoCube නමින් හැඳින්වෙන මෙම චන්ද්‍රිකාවේ ප්‍රධාන අරමුණ වන්නේ මහා පිපිරුමෙන් පසු විශ්වයේ මුල් අවධියේ පැවති උදාසීන හයිඩ්‍රජන් පරමාණු මඟින් නිකුත් කරන ලද සෙන්ටිමීටර 21 ක තරංග ආයාමයකින් යුත් රේඩියෝ සංඥා (21cm line radio frequency) ගවේෂණය කිරීමයි.
මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන පර්යේෂක, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එලෝයි ඩි ලෙරා අසෙඩෝ පවසන පරිදි, මෙම සංඥා විශ්වයේ මුල් යුගයේ පැවති වායුවල උෂ්ණත්වය මැනීමේ උෂ්ණත්වමානයක් ලෙස යොදාගත හැකියි. මේ හරහා විශ්වයේ ‘අඳුරු යුගය’ ලෙස සැලකෙන මහා පිපිරුමෙන් වසර 380,000 කට පමණ පසු යුගයේ පළමු තාරකා සහ මන්දාකිනි බිහි වූ කාලය දක්වා වූ සිදුවීම් අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වනවා. මීට අමතර ව, මේ ඔස්සේ අඳුරු පදාර්ථය පිළිබඳව ද වැදගත් තොරතුරු අනාවරණය කරගත හැකිවනු ඇතැයි විද්‍යාඥයන් විශ්වාස කරනවා.
මෙම පර්යේෂණය සඳහා සඳෙහි පෘථිවියට නො පෙනෙන ඈත කලාපය තෝරාගැනීමට විශේෂ හේතුවක් තිබෙනවා. පෘථිවියේ සිට මෙවැනි දුර්වල රේඩියෝ සංඥා ග්‍රහණය කර ගැනීම ඉතා අපහසුයි. ඊට හේතුව වන්නේ පෘථිවියේ ඇති එෆ්.එම්. රේඩියෝ තරංග සහ ගුවන් යානා සන්නිවේදන පද්ධති වැනි මානව තාක්ෂණික උපකරණ මෙන් ම පෘථිවි අයනගෝලය මඟින් ද මෙම සංඥාවලට දැඩි බාධා එල්ල වීමයි. සඳෙහි අඳුරු කලාපය මෙවැනි බාධාවලින් තොර නිහඬ පරිසරයක් සපයනවා.
වසර දෙකක කාලයක් ක්‍රියාත්මක වීමට නියමිත මෙම මෙහෙයුම සඳහා බ්‍රිතාන්‍ය පවුම් මිලියන 50 ක පමණ මුළු පිරිවැයක් දැරීමට සිදුවනු ඇතැ යි ඇස්තමේන්තු කර තිබෙනවා. දැනටමත් එක්සත් රාජධානියේ අභ්‍යවකාශ ඒජන්සියෙන් පවුම් මිලියන 2 ක අරමුදල් මේ සඳහා හිමි වී ඇති අතර, වසර පහක් ඇතුළත මෙය අභ්‍යවකාශයට දියත් කිරීමට අපේක්ෂා කරගෙන සිටිනවා.
ජොඩ්‍රල් බෑන්ක් තාරකා භෞතික විද්‍යා මධ්‍යස්ථානයේ මහාචාර්ය ෆිල් බුල් මෙම මෙහෙයුම අගය කරමින් පවසා සිටියේ, මෙය අපගේ විශ්වීය සම්භවය සහ පළමු තාරකා නිර්මාණය වූ ආකාරය තේරුම් ගැනීමට මහත් පිටිවහලක් වනු ඇති බවයි. කෙසේ වෙතත්, අනාගතයේ දී වෙනත් පාර්ශ්වයන් විසින් ද සඳ මතට විවිධ මෙහෙයුම් දියත් කිරීමට සැලසුම් කර ඇති බැවින්, එම උපකරණ මඟින් ද සඳ මත මෙවැනි ම රේඩියෝ තරංග බාධා ඇතිවිය හැකි බවත්, එබැවින් මෙම මෙහෙයුම ‘කාලය සමඟ කරන තරගයක්’ බවට පත් ව ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.