Home Science News ක්ෂීරපායීන්ගේ දරු උපත් ඉතිහාසය වසර මිලියන 90කින් වෙනස් කළ පොසිල සාධකය

ක්ෂීරපායීන්ගේ දරු උපත් ඉතිහාසය වසර මිලියන 90කින් වෙනස් කළ පොසිල සාධකය

by Sathya

මෑතක දී සොයාගත් වසර මිලියන 236ක් පැරැණි පොසිලයක් හේතුවෙන් ක්ෂීරපායී සතුන්ගේ පරිණාමීය ඉතිහාසය පිළිබඳව මෙතෙක් පිළිගත් මතයන් මුළුමනින් ම වෙනස් වීමේ ඉඩකඩක් මතු වී තිබෙනවා. නවතම විද්‍යාත්මක අධ්‍යයනයන්ට අනුව, ක්ෂීරපායී පූර්වජයන් විද්‍යාඥයින් අපේක්ෂා කළාට වඩා වසර මිලියන 90කට පමණ පෙර සිට ම බිත්තර දැමීම වෙනුවට සජීවී පැටවුන් බිහි කිරීමට හුරු වී සිටි බවට සාක්ෂි හමු වී තිබෙනවා.

මෙම පර්යේෂණය සඳහා යොදාගෙන ඇත්තේ ආර්ජන්ටිනාවෙන් සොයා ගන්නා ලද ත්‍රියාසික යුගයට අයත් Chiniquodon theotonicus නම් සයිනොඩොන්ට් විශේෂයක පොසිලයකි. ප්‍රමාණයෙන් මධ්‍යම ප්‍රමාණයේ සුනඛයෙකුට සමාන වූ මෙම මාංශ භක්ෂක සතුන්, නූතන ක්ෂීරපායීන්ගේ ඍජු මුතුන්මිත්තන් නොවුණත් ඊට අතිශය සමීප පරිණාමීය නෑකමක් දක්වනවා.

පර්යේෂකයින් මෙම පොසිලයේ වූ කලවා සහ අතෙහි අස්ථි ඉතා තුනී තීරු ලෙස කපා අන්වීක්ෂයකින් නිරීක්ෂණය කර ඇති අතර, එහි දී, උපතට පෙර සහ පසු අස්ථි වර්ධන වේගයේ වෙනසක් පෙන්නුම් කරන ‘නවජ රේඛාවක්’ (neonatal line) හඳුනාගැනීමට සමත් වී තිබෙනවා.

එමෙන් ම, මෙම සත්ත්වයා උපදින විට උගේ බර කිලෝග්‍රෑම් 1.7ක් පමණ වූ බවට පර්යේෂකයන් ගණනය කර තිබෙනවා. එය එම විශේෂයට අයත් කිලෝග්‍රෑම් 12ක් පමණ වන වැඩුණු සතෙකුගේ බරින් 14%ක පමණ ප්‍රතිශතයක්. මෙම වර්ධන රටාව සහ අනුපාතය අද ජීවත් වන වැදෑමහක් සහිත ක්ෂීරපායී (placental mammals) සතුන්ගේ උපත් රටාවට ඉතාමත් සමාන වනවා.

මින් පෙර විද්‍යාඥයින් විශ්වාස කළේ සයිනොඩොන්ට් වැනි මුල් කාලීන සතුන් බිත්තර මඟින් බෝ වීම සිදු කළ බවයි. නමුත් මෙම සොයාගැනීමත් සමඟ, ක්ෂීරපායී පරම්පරාව තුළ සජීවී පැටවුන් බිහිකිරීමේ ක්‍රියාවලියේ ආරම්භය, මින් පෙර සිතුවාට වඩා වසර මිලියන 90ත් 95ත් අතර කාලයකින් පසුපසට යනවා. ත්‍රියාසික යුගයේ පැවති දරුණු දේශගුණික තත්ත්වයන් සහ විලෝපිකයන්ගෙන් එල්ල වූ තර්ජන හමුවේ, බිත්තරයක් ලෙස බාහිර පරිසරයට නිරාවරණය වනවාට වඩා මව් කුස තුළ ම කලලය වර්ධනය වීම මෙම සතුන්ට විශාල වාසියක් ගෙන දෙන්නට ඇතැ යි පර්යේෂකයන් විශ්වාස කරනවා.

කෙසේ වෙතත්, ඇමරිකානු ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ පාෂාණධාතු විද්‍යාඥවරියක වන ඊවා හොෆ්මන් පෙන්වා දෙන්නේ, මෙය අස්ථි වර්ධන රටා මත පදනම් වූ වක්‍ර සාක්ෂියක් බැවින් මෙය සම්පූර්ණයෙන් ම තහවුරු කිරීම සඳහා කලල පටක සහිත තවත් පොසිල සාධක තවදුරටත් අවශ්‍ය වන බවයි.

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications