NASA ආයතනයේ ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මඟින් ලබාගත් විශ්වයේ මුල් අවධියට අයත් ඡායාරූප අධ්‍යයනය කළ ජාත්‍යන්තර තාරකා විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් විශ්වයේ නවතම වස්තු විශේෂයක් සොයාගැනීමට සමත් ව තිබෙනවා. ‘කළු කුහර තාරකාවක්’ (Black hole ‘star’) ලෙස හැඳින්වෙන මෙම සුවිශේෂී වස්තුව, අපගේ සමස්ත සෞරග්‍රහ මණ්ඩලයේ ම විශාලත්වයට සමාන වන අතර එය ඉතා දීප්තිමත් රතු පැහැයකින් යුක්ත බව නිරීක්ෂණය කර තිබෙනවා.
මෙම අපූර්ව වස්තුව පිහිටා තිබෙන්නේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන ගණනක් ඈතින් පිහිටි සීටස් (Cetus) හෙවත් තල්මසා නමැති තාරකා මණ්ඩලයේයි. විශ්වයේ ආරම්භය පිළිබඳ ප්‍රධානතම න්‍යාය වන මහා පිපිරුමෙන් (Big Bang) වසර මිලියන 660කට පමණ පසු ව මෙය නිර්මාණය වී ඇති බව විද්‍යාඥයින්ගේ මතයයි. මෙම වස්තුව බාහිර පෙනුමෙන් අතිවිශාල තාරකාවකට සමාන වුව ද, මෙතෙක් හඳුනාගෙන ඇති ඕනෑ ම තාරකාවකට වඩා බිලියන 100 ගුණයකින් වැඩි ශක්තියක් එයින් නිකුත් වනවා. එම දැවැන්ත ශක්ති ප්‍රමාණය සාමාන්‍ය තාරකාවකට වඩා කළු කුහරයකින් නිකුත් වන ශක්තියට ඉතා ආසන්න බවයි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.
මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයට (MIT) අනුබද්ධ කාව්ලි තාරකා භෞතික හා අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය නියෝජනය කරමින් මෙම පර්යේෂණය මෙහෙයවූ, දැනට හවායි විශ්වවිද්‍යාලයේ සේවය කරන ආචාර්ය රොහාන් නායිදු පවසන්නේ, ඔවුන් විසින් සොයාගැනුණු මේ වස්තුව සම්පූර්ණයෙන් ම නවතම අභ්‍යවකාශ වස්තු වර්ගයක් බවයි. එය කළු කුහරයකට ආවේණික ශක්තියකින් බැබළෙන අතර ම, සාමාන්‍ය තාරකාවක ලක්ෂණ ද පෙන්නුම් කරන බව ඔහු වැඩිදුරටත් පැහැදිලි කරනවා.
ජේම්ස් වෙබ් දුරේක්ෂය මඟින් විශ්වයේ ඈතින්ම පිහිටි මන්දාකිණියක් සොයාගැනීමෙන් අනතුරු ව, දුරේක්ෂ දත්ත ගොනුවේ වූ අතිශය රතු පැහැති වස්තුවක් වන MoM-BH*-1 නම් මෙම ස්ථානය කෙරෙහි පර්යේෂණ කණ්ඩායමේ විශේෂ අවධානය යොමු වී තිබුණා. පරිගණක ආකෘතිකරණ දත්ත හරහා තහවුරු වී ඇත්තේ මෙම වස්තුව න්‍යෂ්ටික විලයනය මඟින් බලගැන්වෙන යෝධ තාරකාවක් නො වන බවයි. ඒ වෙනුවට එය ඝන වායු වලාකුළකින් දැඩි ව වට වී, තාරකාවක් මෙන් විකිරණය වන අතිවිශාල කළු කුහරයක් බව ඔවුන් තහවුරු කරනවා.
මෙම සොයාගැනීම මඟින්, අභ්‍යවකාශ ඡායාරූපවල නිතර දක්නට ලැබෙන අද්භූත කුඩා රතු ලප බොහොමයක් ද මෙවැනිම කළු කුහර තාරකා විය හැකි බවට අනුමාන කිරීමේ පසුබිම සකසනවා. ආචාර්ය නායිදු පවසන්නේ මන්දාකිනිවල පරිණාමය සඳහා මෙම කළු කුහර තාරකා අතිශය වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවයි. අපගේ ක්ෂීරපථය වැනි මන්දාකිනිවල මධ්‍යයේ ඇති අධිස්කන්ධ කළු කුහරවල ආරම්භක අවධිය මෙය විය හැකි බවට විශ්වාස කෙරෙනවා. එම යෝධ කළු කුහර මඟින් නව තාරකා නිර්මාණය වීම පාලනය කරන අතර, ඒ හරහා ග්‍රහලෝක බිහිවීම, ජීවය හටගැනීම සහ සමස්ත විශ්ව ඉතිහාසයේ ම හැඩගැස්ම තීරණය කිරීමට ඒවාට හැකියාව ඇති බව විද්‍යාඥයින්ගේ අදහසයි. මෙම සුවිශේෂී පර්යේෂණ වාර්තාව ඉකුත් දා Nature ජර්නලයේ පළ වී තිබුණා.