NASA ආයතනය විසින් අභ්‍යවකාශයට යැවීමට සූදානම් කර තිබූ අතිනවීන Nancy Grace Roman අභ්‍යවකාශ දුරේක්ෂය මෙරට වේලාවෙන් ඊයේ (30) පස්වරුවේ සාර්ථක ව අභ්‍යවකාශගත කෙරුණා. ඇමරිකාවේ ෆ්ලොරිඩා හි පිහිටි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට SpaceX Falcon Heavy රොකට්ටුවක් මගින් මෙය අභ්‍යවකාශගත කෙරුණු අතර, එය පෘථිවියේ සිට සැතපුම් මිලියනයක් පමණ දුරින් පිහිටි දෙවන ලැග්‍රේන්ජ් ලක්ෂ්‍යය (L2) වෙත ගමන් කිරීමට නියමිතයි. NASA ආයතනයේ ප්‍රථම තාරකා විද්‍යා ප්‍රධානී මෙන්ම අභ්‍යවකාශ දුරේක්ෂ සංකල්පයේ පුරෝගාමියෙකු ලෙස සැලකෙන නැන්සි ග්‍රේස් රෝමන් මහත්මියට ගෞරවයක් ලෙසයි මෙම දුරේක්ෂය නම් කර ඇත්තේ.

මෙම දැවැන්ත මෙහෙයුමේ ප්‍රධානතම අරමුණ වන්නේ අඳුරු පදාර්ථය (Dark Matter), අඳුරු ශක්තිය (Dark Energy) සහ විශ්වයේ පරිණාමය පිළිබඳව තවදුරටත් ගැඹුරින් අධ්‍යයනය කිරීමයි. ඊට අමතර ව, අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත පිහිටි ග්‍රහලෝක ගවේෂණය කිරීම සහ ඒවායේ ජීවය පැවතීමේ හැකියාව සෙවීම ද මෙයට පැවරී ඇති තවත් ප්‍රධාන කාර්යභාරයක්. මෙම දුරේක්ෂය තුළ අන්තර්ගත මෙගාපික්සල් 300කට අධික ධාරිතාවකින් යුත් කැමරා පද්ධතිය මඟින් හබල් අභ්‍යවකාශ දුරේක්ෂයට වඩා සිය ගුණයකින් විශාල දෘෂ්ටි පථයක් එක්වර ආවරණය කිරීමේ හැකියාව පවතිනවා. එමෙන් ම, තාරකාවලින් නිකුත් වන අධික ආලෝකය අවහිර කරමින් ඒ වටා භ්‍රමණය වන ග්‍රහලෝක සෘජු ව ම ඡායාරූපගත කිරීම සඳහා විශේෂිත උපකරණයක් ද මීට ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.
නව දුරේක්ෂය මඟින් විශ්වය පිළිබඳව අප මෙතෙක් නොදත් රහස් රැසක් අනාවරණය කරගැනීමට හැකිවනු ඇතැ යි විද්‍යාඥයන් දැඩි විශ්වාසයකින් පසුවනවා. හබල් සහ ජේම්ස් වෙබ් වැනි දුරේක්ෂ මඟින් විශ්වයේ කුඩා ප්‍රදේශයක් ඉතා ගැඹුරින් නිරීක්ෂණය කරන අතරතුර, රෝමන් දුරේක්ෂය මගින් විශ්වයේ අතිවිශාල ප්‍රදේශයක් ඉතා වේගයෙන් නිරීක්ෂණය කරනු ඇති. එය හබල් දුරේක්ෂයට වසර දහසක් ගතවන නිරීක්ෂණ කටයුතු මාස කිහිපයකින් නිම කිරීමට සමත් බවයි NASA පවසන්නේ. දියත් කිරීමෙන් පසු ව උපකරණ ක්‍රමාංකනය කිරීම සඳහා මාස කිහිපයක් ගතවන අතර, 2027 වසරේ මුල් භාගයේ දී මෙහි ප්‍රථම ඡායාරූප නිකුත් කිරීමට නියමිත ව තිබෙනවා.