Home Science News එක්සත් රාජධානියේ JET න්‍යෂ්ටික විලයන පර්යේෂණාගාරය සිය අත්හදාබැලීම් නිමා කරයි

එක්සත් රාජධානියේ JET න්‍යෂ්ටික විලයන පර්යේෂණාගාරය සිය අත්හදාබැලීම් නිමා කරයි

by Sathya

දශක හතරකට අධික කාලයක් තිස්සේ යුරෝපා සංගමයට අයත් රාජ්‍යයන්ගේ න්‍යෂ්ටික විලයනය ප්‍රා‍යෝගික ලෙස අත්හදාබැලීමේ කේන්ද්‍රස්ථානය බවට පත් ව තිබූ JET විලයන විද්‍යාගාරයේ කටයුතු නිමා කිරීමට පසුගිය සෙනසුරාදා (14) පියවර ගැනුණා.

න්‍යෂ්යික විලයනය මුල් වරට සොයා ගැනුණේ 1920 ගණන්වල දී යි. පසු ව ඉන් අවි ආයුධ තැනීම සඳහා විවිධ රටවල් රහසිගත පර්යේෂණ ක්‍රියාත්මක කර තිබුණා. 1958 දී රුසියාව, එක්සත් රාජධානිය, යුරෝපයේ අනෙකුත් රටවල්, ජපානය සහ ඇමරිකාව න්‍යෂ්ටික විලයනය බලශක්ති උත්පාදනය සඳහා යොදා ගැනීමට පර්යේෂණ කිරීමේ තරගකාරී වාතාවරණයකට පිවිසී තිබුණා. හරිතාගාර වායූන් මුදා හැරීමකින් තොර සුපිරිසිදු බලශක්තියක් එමගින් උත්පාදනය කරගත හැකි වීම එයට හේතුවයි. සූර්යයා සහ අනෙකුත් තාරකා බලගැන්වෙන්නේ ද මේ ක්‍රියාවලියෙන් ම යි.

එක්සත් රාජධානිය සහ යුරෝපානු සංගමයේ රටවල්වල සහභාගීත්වයෙන් Joint European Torus (JET) පර්යේෂණාගාරය බිහිවන්නේ න්‍යෂ්ටික විලයනය ප්‍රායෝගික භාවිතයකට ගෙන ඒම සඳහා අත්හදා බැලීම් සිදු කිරීම අරමුණු කරගෙනයි. එක්සත් රාජධානියේ කල්හැම්හි ඔක්ස්ෆර්ඩ්ශෙයරයේ ඉදිකෙරුණු එහි පර්යේෂණ කටයුතු සඳහා මහද්වීපය පුරා විසිරී සිටි විද්‍යාඥයන් සහ ඉංජිනේරුවන් ගණනාවක් සම්බන්ධ කර ගැනුණා.

මෙහි ප්‍රතික්‍රියාකාරකය නිමවීම සඳහා ජර්මනියේ ප්ලාස්ම භෞතික විද්‍යාව පිළිබඳ විශේෂඥයකු වූ ඔස්ට්‍රේලියානු ජාතික පර්යේෂකයකු පත් කෙරුණු අතර එය ඉදි කළේ ඩියුටෙරියම් – ට්‍රිටියම් සහ හයිඩ්‍රජන් මිශ්‍රණයකින් ක්‍රියාත්මක විය හැකි පරිදියි. එය හඳුනාගෙන තිබුණේ විලයන ප්‍රතික්‍රියාකාරක බලගැන්වීම සඳහා යොදාගත හැකි කාර්යක්ෂම ම අමුද්‍රව්‍ය ලෙසයි.

මේ ඉන්ධන මිශ්‍රණය යොදාගනිමින් JETහි සිදු කළ පළමු අත්හදා බැලීම 1991 දී සිදු වූ අතර පසු කාලීන අත්හදා බැලීම්වල දී සාපේක්ෂ ව ඉහළ ශක්ති ප්‍රතිදානයන් ලබාගත හැකි වුණා. විලයන අත්හදාබැලීමකින් තත්පර 5ක් තුළ නිකුත් කළ වැඩිම ශක්ති ප්‍රමාණය වන මෙගාජූල් 59ක ප්‍රතිදානයට ද හිමිකම් කියන්නේ JET හි ඇති ප්‍රතික්‍රියාකාරකයයි. නමුත් එය කෙතරම් අඩු ශක්ති ප්‍රමාණයක් දැ යි කියතොත් ඉන් රත් කළ හැකි වන්නේ ද ජලය පිර වූ කේතල් 60ක් පමණයි.

වාර්තා තබන්නට සමත් වී තිබුණත් නව සහශ්‍රකයේ මුල් කාර්තුව තුළ සිදු කිරීමට නියමිත ව තිබූ පරීක්ෂණ දීර්ඝ කාල පරතරයන්ගෙන් කල් ඇදී ගොස් තිබුණා. ඒ එහි අභ්‍යන්තර ව්‍යුහයන් ප්‍රතිසංස්කරණය කිරීමට සිදු වීම හේතුවෙන්.

කෙසේ නමුත් JET හි ප්‍රතික්‍රියාකාරකය සිදු කළ අත්හදා බැලීම් මඟින් අනාගතයේ දී වුව ඉගෙන ගන්නට බොහෝ දෑ තිබෙනු ඇති බවයි න්‍යෂ්ටික විලයනය පිළිබඳ පර්යේෂකයන් දරන මතය වන්නේ.

BBC ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications