මිනිසා විසින් නිර්මාණය කරන ලද කිසිදු වස්තුවක් මෙතෙක් ළඟා නොවූ දුර සීමාවක් පසුකරමින්, NASA ආයතනයේ වොයෙජර් 1 (Voyager 1) අභ්‍යවකාශ යානය පෘථිවියේ සිට එක් ආලෝක දිනයක දුරකට ළඟා වීමට නියමිත ව තිබෙනවා. මේ ඓතිහාසික අවස්ථාව සැමරීම සඳහා නොවැම්බර් 17 වැනි දා රාත්‍රියේ අහස දෙසට ආලෝක සංඥාවක් නිකුත් කරන ලෙස NASA ආයතනය ලොව පුරා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
1977 වසරේ අභ්‍යවකාශ ගත කෙරුණු වොයෙජර් 1 යානය මේ වන විට වසර 49කට ආසන්න කාලයක් පුරා ගැඹුරු අභ්‍යවකාශයේ ගමන් කරමින් සිටිනවා. සෞරග්‍රහ මණ්ඩලයේ සීමාවෙන් ඔබ්බට ගොස් අන්තර්තාරීය අවකාශයට පිවිසි මෙය, පෘථිවියෙන් දුරස්ථ ම මානව නිර්මිත වස්තුව බවට පත් වෙමින් අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂ සංධිස්ථානයක් සලකුණු කළේ 2012 වසරේ දීයි. මේ ගමනේ තවත් ඓතිහාසික සංධිස්ථානයක් සමරමින් ලබන 18 වැනි දා වොයේජර් 1 යානය පෘථිවියේ සිට ආලෝක දිනයක දුර සීමාව ඉක්මවා යනවා.
NASA ආයතනය සැලසුම් කර ඇති පරිදි, 2026 නොවැම්බර් 17 වැනි අඟහරුවාදා හිරු බැස යෑමෙන් පසු මෙම අවස්ථාව සැමරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එහි දී ජනතාවට විදුලි පන්දම්, ජංගම දුරකථන හෝ වෙනත් ආලෝක ප්‍රභවයක් භාවිත කරමින් වොයෙජර් මෙහෙයුමේ කේත නාම සංඥාව වන V-G-R යන අකුරු මෝස් කේත (Morse Code) ආකාරයෙන් අහස දෙසට නිකුත් කිරීම අපේක්ෂා කෙරෙනවා. 
ආලෝකය තත්පරයකට කිලෝමීටර් 299,792ක පමණ වේගයකින් ගමන් කරන බැවින්, පැය 24ක දී එය ගමන් කරන දුර ආලෝක දිනයක් ලෙස හැඳින්වෙනවා. ඒ අනුව එක් ආලෝක දිනයක් කිලෝමීටර් බිලියන 25.9ක දුර ප්‍රමාණයකින් යුක්තයි. මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ එම යානයෙන් පෘථිවියට ලැබෙන සංඥාවක් පවා අප වෙත ළඟා වීමට පැය 24කට ආසන්න කාලයක් ගතවීමයි. එනම් පෘථිවියේ සිට යානයට යවන රේඩියෝ සංඥාවක් එහි ළඟා වීමටත්, යානයෙන් පිළිතුරු සංඥාවක් නැවත පෘථිවියට පැමිණීමටත් පැය 48කට ආසන්න කාලයක් ගතවනවා.
NASA සඳහන් කරන පරිදි වොයෙජර් 1 යානය 2026 නොවැම්බර් 18 වැනිදා ඇමෙරිකානු නැගෙනහිර සම්මත වේලාවෙන් පෙරවරු 5.16ට (ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.46ට) මෙම සන්ධිස්ථානය පසුකරනු ඇතැ යි අපේක්ෂා කෙරෙනවා.
1977 සැප්තැම්බර් 5 වැනි දා අභ්‍යවකාශගත කෙරුණු වොයෙජර් 1 යානය මුලින් ම බ්‍රහස්පති සහ සෙනසුරු යන ග්‍රහලෝක ආශ්රිත ව ගවේෂණ සිදු කළ අතර, අනතුරු ව එය සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝකවලින් ඈතට ගමන් කරමින් අන්තර්තාරීය අවකාශය දෙසට ඇදී යන සිය ගමන ආරම්භ කළා.
සූර්යයා විසින් නිර්මාණය කරන ලද ආරක්ෂිත අංශු හා චුම්බක ක්ෂේත්‍ර කලාපය වන සූර්යගෝලයේ (Heliosphere) සීමාව පසුකරමින් එය අන්තර්තාරීය අවකාශයට පිවිසියේ 2012 අගෝස්තු මාසයේ දීයි. මේ වන විට යානය පැයට කිලෝමීටර 61,000ක පමණ වේගයකින් ගමන් කරමින් සිටිනවා.
NASA ආයතනයේ මෙම සැමරුම් වැඩසටහනේ අරමුණ වන්නේ වොයෙජර් මෙහෙයුමේ කේත නාම සංඥාව වන V-G-R අකුරු තුන මෝස් කේතය ඔස්සේ ආලෝකයෙන් නිරූපණය කිරීමයි.
ඒ සඳහා විශේෂයෙන් සකස් කළ ස්වයංක්‍රීය ආලෝක සංඥා පද්ධතියක් ද NASA විසින් හඳුන්වා දෙනු ලැබ තිබෙනවා. එය ස්මාර්ට් ජංගම දුරකතනයකින් හෝ ටැබ්ලට් පරිගණකයකින් ක්‍රියාත්මක කළ හැකියි. එසේ නොමැති නම් විදුලි පන්දමක් හෝ වෙනත් ආලෝක ප්‍රභවයක් භාවිතයෙන් ද මෝස් කේතයයට අනුගත ව දල්වමින් සහ නිවමින් මෙම සංඥාව නිකුත් කළ හැකිය.
මෝස් කේතය අනුව V අකුර කෙටි ආලෝක සංඥා තුනකින් සහ දිගු සංඥාවකින් ද, G අකුර දිගු සංඥා දෙකකින් සහ කෙටි සංඥාවකින් ද, R අකුර කෙටි සංඥාවක්, දිගු සංඥාවක් සහ තවත් කෙටි සංඥාවකින් ද නිරූපණය කෙරෙනවා.
මෙම ආලෝක සංඥා විනාඩියක පමණ කාලයක් නැවත නැවතත් නිකුත් කරමින් මෙම සැමරුමට එක් වන ලෙස NASA ඉල්ලා සිටින අතර, සහභාගිවන්නන්ට තමන් නිකුත් කරන සංඥාව ඡායාරූපගත කර හෝ වීඩියෝගත කර සමාජ මාධ්‍ය ඔස්සේ @NASA ‘ටැග්’ කරමින් බෙදාගැනීමට ද ආරාධනා කර තිබෙනවා.
මෙය වොයෙජර් යානය සමඟ සෘජු ව සන්නිවේදනය කිරීමේ ක්‍රමයක් නොව, මානව අභ්‍යවකාශ ගවේෂණයේ සුවිශේෂී ජයග්‍රහණයක් සැමරීම සඳහා සංවිධානය කරන සංකේතාත්මක ගෝලීය වැඩසටහනක් බව ද මෙහි ලා සඳහන් කළ යුතුයි.
වොයෙජර් 2 ද 1977 වසරේ දී ම වොයේජර් 1 යානයට දින 16කට පෙර අභ්‍යවකාශගත කෙරුණු අතර, එය වෙනත් ගමන් මාර්ගයක් ඔස්සේ යුරේනස් සහ නෙප්චූන් ග්‍රහලෝක ගවේෂණයට ලක් කරමින් ඉවතට ඇදී යන ගමන ආරම්භ කළා. වොයෙජර් 2 යානය ද 2018 වසරේ දී අන්තර්තාරකා අවකාශයට පිවිසි අතර, එය පෘථිවියේ සිට එක් ආලෝක දිනයක දුරකට ළඟා වනු ඇතැ යි අපේක්ෂා කරන්නේ 2035 නොවැම්බර් මාසයේ දීයි.
වොයෙජර් 1 සහ 2 යානා දෙක ම තවත් සුවිශේෂ වස්තුවක් රැගෙන යමින් තිබෙනවා. ඒ පෘථිවියේ ජීවය, සංස්කෘතිය සහ ශබ්ද පිළිබඳ තොරතුරු ඇතුළත් කර නිර්මාණය කළ ‘ගෝල්ඩන් රෙකෝඩ්’ (Golden Record) නම් රන් පැහැති තැටියයි.
එහි සිංහල භාෂාව ද ඇතුළු ව පෘථිවියේ විවිධ භාෂාවලින් සිදුකරන ආචාර කිරීම්, සංගීත නාද රටා, ස්වභාවික ශබ්ද සහ ඡායාරූප ඇතුළත් කර තිබෙනවා. එසේ ම එහි මෝස් කේතයෙන් සටහන් කළ ‘Ad astra per aspera’ නම් ලතින් වැකිය ද ඇතුළත් වන අතර, එහි අර්ථය ‘දුෂ්කරතා මධ්‍යයේ තාරකා වෙත’ යන්නයි. එය නිර්මාණය කර තිබෙන්නේ මතු යම් දිනෙක පාරභෞමික ශිෂ්ටාචාරයක් අතට පත් වුවහොත් පෘථිවිය මත ජීවයේ ස්වභාවය පිළිබඳ ඔවුන්ට දළ අදහසක් ලබාගත හැකි වන පරිදියි.
වොයෙජර් 1 යානය ඉදිරියේ දී ගමන් කිරීමට නියමිත දිශාවේ පිහිටා ඇති Gliese 445 නම් තාරකාව වෙත ළඟා වීමට වසර 40,000ක් පමණ ගතවනු ඇතැයි ගණනය කර තිබෙනවා. එම අවස්ථාවේ පවා එය ගමන් කරනු ඇත්තේ එම තාරකාවට ආලෝක වර්ෂ 1.7ක පමණ දුරකින්.