Home Science News Peregrine පෘථිවිය හා ගැටෙන මඟක‍

Peregrine පෘථිවිය හා ගැටෙන මඟක‍

by Sathya

ඇමරිකානු පෞද්ගලික සමාගමක් විසින්සඳ මතට ගොඩබැස්වීම අරමුණු කරගනිමින් ඉකුත් සතියේ යවන ලද නමුත් සිදු වූ ඉන්ධන කාන්දුවක් නිසා මෙහෙයුම අසාර්ථක වූ Peregrine යානය පෘථිවිය සමග ගැටීමේ මඟකට අවතීර්ණ වී තිබෙනවා.

Astrobotic සමාගම විසින් නමවනු ලැබූ Peregrine, අභ්‍යවකාශගත කරනු ලැබුණේ ඉකුත් 08 වැනි දා United Launch Alliance විසින් නපදවනු ලැබූ Vulcan Centaur රොකට්ටුවේ ආධාරයෙන් කේප් කැනැවරල් තුඩුවේ සිටයි. ගුවනට නැංවීම සාර්ථක ලෙස සිදු වුවත් රොකට්ටුවෙන් වෙන් වීමෙන් පසු සඳ බලා යන ගමන ඇරඹූ Peregrine යානයට නො සිතූ ඇබැද්දියකට මුහුණු පාන්නට සිදු වුණා. ඒ යානය සතු ව ඇති ප්‍රචාලන පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් සැලකිය යුතු ඉන්ධන ප්‍රමාණයක් අපතේ යාමයි. එහි ප්‍රතිඵලයක් ලෙසින් Peregrine යානයට සිය ඉලක්කය වන චන්ද්‍රයා මත සුමට ගොඩබැස්ම සාර්ථක ලෙස අවසන් කිරීමට ලැබෙන්නේ නැහැ. Astrobotic සමාගම පසුගිය 13 වැනි දා ප්‍රකාශයට පත් කළේ යානය දැනට පවතින කක්ෂය හේතුවෙන්, එය පෘථිවි වායුගෝලයට ඇතුළු වන මඟක අවතීර්ණ වී ඇති බවයි.

“ප්‍රචාලක කාන්දුව නිසා අපේ විශ්ලේෂණ උත්සාහයන් අභියෝගාත්මකයි. එනිසා යානයේ ගමන් පථය ගැන පුරෝකථනය කිරීමේ දී ඇති වන අවිනිශ්චිතතාව වැඩියි.” Astrobotic සමාගම X (කලකට ඉහත Twitter) පණිවුඩයක් තබමින් සඳහන් කරනවා. “අපේ නවතම ගණනය කිරීම් පෙන්වන්නේ යානය පෘථිවිය දෙසට එන මාර්ගයකට අවතීර්ණ වී ඇති බවයි. අවසානයේ එය බොහෝ දුරට පෘථිවි වායුගෝලයට ඇතුළු වී දැවී යනු ඇති.”

Astrobotic සමාගම, Peregrine පෘථිවි වායුගෝලයට ඇතුළු වන දිනයක් තවමත් ප්‍රකාශයට පත් කර නැහැ. Peregrine මෙහෙයුමේ නවතම තතු හෙළි කිරීමට Astrobotic සහ NASA ආයතනය එක් ව ලබන 18 වැනි දා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

Space.com ඇසු‍රෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications