රෝමානු යුගයේ සිට ස්වභාවික ලෙස සංරක්ෂණය වූ කුරුලු බිත්තරයක් සොයා ගැනේ

වසර 1,700කට ඉහත දී කිරිල්ලියක විසින් දමන ලද බිත්තරයක් ස්වභාවික පරිසරය තුළ මනා ලෙස සංරක්ෂණය වී තිබිය දී එංගලන්තයේ බකිංහැම්ශයරයේ කැණීමකින්, සොයාගෙන තිබෙනවා. එහි අභ්‍යන්තර තරලය ද තවමත් දියර තත්ත්වයෙන් පැවතීම විශේෂත්වයක්.

රෝමානු යුගයට අයත් මෙම කිරුලු බිත්තරය විශ්ලේෂණය කළ පුරාවිද්‍යාඥයන් ද ඉන් විස්මයට පත් ව සිටින බව වාර්තා වනවා.

මෙම බිත්තරයට වඩා පැරැණි බිත්තර ලොව වටා කැණීම්වලින් සොයාගෙන තිබෙනවා. නමුත් ඒ සියල්ල ම අනාගතය වෙනුවෙන් වුවමනාවෙන් ම පරිශ්‍රමයක් දරා සංරක්ෂණයට භාජනය කළ ඒවා යි. විශේෂත්වය වන්නේ මෙම බිත්තරය රෝමානු යුගයේ සිට මේ දක්වා ම සංරක්ෂණය වී පැවතියේ ස්වභාවධර්මයට පින් සිදු වන්නටයි. එහි පැරැණි බව නිසා ම එය අතින් ස්පර්ශ කිරීමට හෝ වායුගෝලීය වාතයට නිරාවරණය කිරීමට හෝ නො හැකි අතර විද්‍යාඥයන් හට අතිශය සියුම් ලෙස එය හැසිරවීමට සිදු ව තිබෙනවා.

මෙය මුලින් ම සොයා ගැනුණේ 2019 වසරේ වුවත් එය ස්කෑන් පරික්ෂාවකට ලක් කෙරුණේ මෑත කාලීන ව යි. කාලයත් සමග එහි අන්තර්ගතය විද්‍යාඥයන් උපකල්පනය කළ පරිදි, කටුව ඔස්සේ පිටතට කාන්දු නො වී එතුළ ම තිබෙන බව සොයා ගැනුණේ එමඟිනුයි.

“බිත්තරය සිතා සිටියාටත් වඩා පුදුමයක් බව පසු ව හෙළි වුණා. ඒක ඇතුළේ තරලය, එනම් බීජාන්නය හෙවත් කහ මදය සහ සුදු මදය තවමත් සුරැකි ව පවතිනවා.” පුරාවිද්‍යාත්මක සංරක්ෂිකා Dana Goodburn-Brow සඳහන් කරනවා.

ස්කෑන් ඡායාරූපවලින් දැක්වෙන පරිදි එහි කහ මදය සහ සුදු මදය වෙන් වෙන් වශයෙන් පෙන්නුම් කෙරෙන්නේ නැහැ. කාලයත් සමගින් එය එකිනෙක මිශ්‍ර වී ඇති බව ඒ අනුව උපකල්පනය කෙරෙනවා. තරලය සහ බිත්තර කටුව අතර කුඩා වා බුබුලක් ද පවතින බව ස්කෑන් ජායාරූපවලින් පෙනී යනවා.

Goodburn-Brown පවසන්නේ මේ බිත්තරය ආශ්‍රිත අධ්‍යයනය තමාගේ 40 වසරක සේවා කාලය තුළ කෙරුණු වැදගත් ම විමර්ශනය බවයි. එය යමෙකුගේ ජීවිතය තුළ එක් වරක් පමණත් කළ හැකි සොයා ගැනීමක් බව ඇය සඳහන් කරනවා. ඒ මිනිසෙකුගේ මැදිහත් වීමකින් තොර ව බිත්තරයත් මෙතුවක් කලක් මෙතරම් සුවිශේෂ ලෙස සුරැකි ව පැවතීමට ඇති සම්භාවිතාව ඒ තරම් විරල වන බැවින්.

Science Alert ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

 

 

Related posts

Blue Origin සමාගමේ New Glenn රොකට්ටුව පූර්ව දියත් කිරීමේ පරීක්ෂණයක් අතරතුර පිපිරී යයි

Moon Base I මෙහෙයුම ජෙෆ් බෙසෝස්ගේ Blue Origin සමාගමට

SpaceX කොටස් වෙළෙඳපොළට